සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් හා දුරකථන ඇමතුම් ලබා දෙමින් වංචනික ලෙස ජාවාරම්කරුවන්ගේ ගිණුම් වෙත මුදල් බැර කරවා ගැනීම් සම්බන්ධයෙන් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී ඇති බව පොලීසිය පවසනවා.
එසේ ම රැකියා අවස්ථා ලබා දෙන බවට, ත්‍යාග දිනුම් ඇදී ඇති බවට, අසත්‍ය චෝදනා යොමු කර නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට බවට ද පවසා විවිධ ගිණුම් වෙත වංචනික ලෙස මුදල් බැර කර ගැනීම් සිදු කරන බවට ද පැමිණිලි ලැබී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරන්නේ.
අවස්ථානුකූල ව විවිධ උපක්‍රම භාවිතා කරමින් පුද්ගලයින් සතු ගිණුම් අංක, මුරපද (OTP) හා QR කේත ආදී රහස්‍ය තොරතුරු ලබා ගැනීම මඟින් හා අන්තර්ජාල දිගු හා ස්කෑන් කේත ඔස්සේ ද මෙම වංචාවන් සිදු කරන බවට ද නිරීක්ෂණය වී ඇති බව ද සඳහන්.
බැංකු සේවකයින් ලෙස පෙනී සිටිමින් ගිණුම් හිමියන් වෙත දුරකථන ඇමතුම් ලබා දී බැංකු ගිණුම් පිළිබඳ ව තොරතුරු ලබා ගෙන එම ගිණුම් වෙත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මුදල් තැන්පත් කර ඇති බවට පවසා ගිණුම් හිමියන් බිය ගන්වා වංචාකරුවන් විසින් ලබා දෙන විවිධ ගිණුම් වෙත මුදල් තැන්පත් කර ගැනීමේ ජාවාරම් පිළිබඳ පසුගිය දිනවල මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙතත්, පොලිස් නිලධාරීන් ලෙස පවසා දුරකථන ඇමතුම් ලබා දී ගිණුම් විස්තර හා මුදල් ලබා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධ ව පාදුක්ක පොලිස් ස්ථානය වෙතත් පැමිණිලි ලැබී ඇති බවයි පොලීසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
මෙවැනි වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙසට පොලීසිය විසින් මීට පෙර අවස්ථාවලදී ද මහජනතාව දැනුවත් කර ඇති අතර එසේ ම Verified badges / official pages පරීක්ෂා කිරීම, දෙවැනි පාර්ශ්වයට Bank details, NIC Number, login details, OTP, Password, PIN, Photos ලබා නොදීම, සැකසහිත links පරිශීලනය නොකිරීම, මුදල් තැන්පත් කිරීමේදී අනන්‍යතාව සනාථ කර ගැනීම වැනි ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ද පොලීසිය ජනතාවට දැනුම් දෙනවා.
අදාළ නිවේදනය පහතින්.









