වෙඩි වැදුණු බවට සැක මළ සිරුරක් හමුවෙයි

මරණකරු මත්කුඩු ජාවාරමට සම්බන්ධ බව කියන පුද්ගලයකු බව පොලිසිය පවසන අතර කුඩාපෝරුව ප්‍රදේශයේදී ඝාතනය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

30 හැවිරිදි වියේ පසු වූ එම පුද්ගලයා නාරම්මල මැටියගනේ පදිංචිකරුවෙක්.

මධ්‍යම අධිවේගී මාර්ගයට යටින් දිවෙන මාර්ගයකදී මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවට සැකකෙරන බවද පොලිසිය සඳහන් කරනවා.

මරණකරු හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පෙර වැරැදි කිහිපයක් ඇති අයෙක් වන බවත් නාරම්මල සහ අලව්ව ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදාහැරීමෙහි යෙදී සිටි අයෙකු බවත් විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

ඊයේ (17) රාත්‍රි 10.00 ට පමණ තවත් පුද්ගලයෙකු සමග යමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් සැකපිට ඔහු සමග සිටි අනෙක් පුද්ගලයාව අලව්ව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ සිරුරේ ස්ථාන කිහිපයකම වෙඩි වැදීමෙන් ඇතිවූ තුවාල ඇති බව පොලිසිය සඳහන් කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.