Lanka Ride පාපැදි සවාරියේ දෙවැනි දිනය අදයි

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධාන කරන Lanka Ride පාපැදි සවාරිය ඊයේ (16) උදෑසන 9.00 ට කොළඹ ලේක්හවුස් ආයතනය ඉදිරිපිටින් ආරම්භ කෙරුණා.

Lanka Ride පාපැදි සවාරිය පළමු දිනයේදී නුවර දක්වා ගමන් කළ අතර, එහි දෙවන දිනය වන අද (17) දිනයේදී තරගය නුවරින් ආරම්භ වී අනුරාධපුරයට ගමන් කිරීමට නියමිතයි.

මෙම පාපැදි සවාරිය සඳහා කණ්ඩායම් 27 ක පාපැදි ක්‍රීඩකයින් සම්බන්ධ වී සිටින බවයි පැවසෙන්නේ.

ඊයේ (16) නුවර දී අවසන් කෙරුණු තරගයේ පළමු අදියරේදී ත්‍යාග 05 ක් ලබාදුන් අතර, ඒ අනුව පැය 02 යි විනාඩි 52 යි තප්පර 41 කින් තරගය නිමා කරමින්, අංක 193 න් තරග කළ එච්.ඩබ්ලිව්.එම්.එස්. පින්තු ප්‍රථම ස්ථානය දිනාගත්තා.

අංක 195 න් තරග කළ ඒ.ඩී.එස්. පෙරේරා දෙවන ස්ථානය ද, අංක 82 න් තරග කළ දේශාන් කවින්ද තෙවන ස්ථානයද, අංක 142 න් තරග කළ සුරංග රණවීර සිව්වන ස්ථානය ද, අංක 33 න් තරග කළ සිතුම් පූර්ණ පස්වන ස්ථානය ද හිමි කර ගැනීමට සමත් වුණා.

අද (17) උදෑසන 9.00 ට තරගයේ දෙවැනි අදියර ගන්නෝරුව කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානය ඉදිරිපිටින් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.