අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පරිවර්තනීය වෙනස සිදු කිරීමෙන් අඩියක්වත් පිටුපසට ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
පුත්තලම කලාපයේ අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් සමඟ අද (17) පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඇය ප්‍රකාශ කළේ, දියත් කළ සැලසුම් ඒ ලෙසටම ක්‍රියාත්මක කරන බවය.
”මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් දීර්ඝකාලීන ක්‍රියාවලියක් තුළ සාක්ෂාත් කර ගැනීමට සැලසුම් කර ඇති ඒවා, ඒ සඳහා වන යටිතල පහසුකම් සංවර්ධනය, ගුරු-විදුහල්පති බඳවා ගැනීම්, ඩිජිටල් තාක්ෂණික උපකරණ බෙදාදීම් අඛණ්ඩව සිදුකරමින් පවතිනවා.
මෙවැනි බරපතළ ක්‍රියාවලියකදී සුළුතර කණ්ඩායම් ඔවුන්ගේ පටු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඉදිරිපත් කරන විරෝධතා නොතකා, රජය හා නිලධාරීන් අතර ඇති අන්‍යෝන්‍ය විශ්වාසය ඉදිරියටත් පවත්වාගත යුතුයි. මෙය දරුවන්ගේ අනාගතය හැඩගස්වන, සමස්ත රටේම ඉදිරි අනාගතය තීරණය වන ක්‍රියාවලියක් බැවින් ඒ පිළිබඳ ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීම අත්‍යවශ්‍ය යි.
අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියේ විශේෂ වැඩසටහන්වලට අප මුදල් වෙන් කරලා තිබෙනවා. යටිතල පහසුකම් ඇතුළු ඩිජිටල් අධ්‍යාපන පහසුකම් වන අන්තර්ක්‍රියාකාරී තිර සහ අන්තර්ජාල සබඳතා ලබාදීම මුල් මාස දෙක ඇතුළත තෝරාගත් ද්විතීයික පාසල්වලට ලබාදීමට සැලසුම් කර තිබෙනවා.”








