දිට්වා සුළි කුණාටුවේ හානි තක්සේරු කිරීමට IMF විශේෂ කණ්ඩායමක් ලබන 22 වැනිදා මෙරටට

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානියේ සැබෑ ප්‍රමාණය සහ එහි ස්වභාවය ගැන සොයා බැලීමට විශේෂ IMF කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂිකා ජූලි කොසැක් (Julie Kozack) පවසනවා.

මෙම විශේෂ නියෝජිත පිරිස ජනවාරි 22 සිට 28 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇති බවයි ඇය මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළේ.

මෙම කණ්ඩායම විසින් රජයේ බලධාරීන් හමුවී, ආපදාව නිසා දැනට ක්‍රියාත්මක විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහනට විය හැකි බලපෑම සහ රජයේ ඉදිරි සැලසුම් ගැන සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර, ආපදාවෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීමට සහ ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීමට අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමට අපේක්ෂා කරන බවයි IMF සන්නිවේදන අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.