සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මොකද වුණේ?
“එදිනෙදා දේශපාලනය තමයි කතා කළේ. ඒ හැරෙන්නට ඉදිරිය ගැනත් කතා කළා. එළඹෙන පළාත් සභා මැතිවරණයට සවිමත්ව මුහුණදීමට සූදානම්වීමක් විදියටත් හඳුන්වන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව පවත්වන ඉදිරි සාකච්ඡා පිළිබඳත් පුළුල්ව සාකච්ඡාවට ගැනුණා. ඒ මිසක කිසිම ගැටලුවක් නෑ. ප්‍රධාන විපක්ෂය විදියට අපි ඉතා සවිමත්.”
ඉදිරි පළාත් පාලන මැතිවරණය ගැනත් ඔබ පැවසුවා?
“ඔව්. ආණ්ඩුව දිගින් දිගටම ඡන්දය පිළිබඳ මහජන අයිතියට පිටුපානවානේ. අපි දිගින් දිගටම පළාත් සභා මැතිවරණය ඉල්ලා සිටිනවා.”
එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වීම ගැන වැඩිදුරටත් යමක් කියන්න ඇති?
“ඒ පිළිබඳ නායකයන්ගේ මූලිකත්වයෙන් යුතුව තවදුරටත් සාකච්ඡා කෙරෙනවා. ඓතිහාසික තීන්දුවකට ළඟදීම එළඹෙන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා.”
ආණ්ඩුවෙන් කඩිනම් සංවර්ධන ව්‍යාපෘති, වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මකයි. ඒ ගැන ඔබට යම් අදහසක් ඇති?
“රී බිල්ඩින් ශ්‍රී ලංකා ඇරඹුවා කියලා ඊයේ පෙරේදාත් කතා වුණා. ඒ වචන ටික හරි ලස්සනයි. ඒත් ඒ වගේ වැඩක් ගැන ගැටලුසහගතයි. අවතැන් වූ අයට ආහාර සලාකයක්වත් දෙන්න තවම හරි වැඩපිළිවෙළක් නැති බව මගේ හැඟීමයි. අඩුම තරමේ සුළි කුණාටුවෙන් අනාථ වුණු පිරිසට මුලින් නොවැරදීම අවශ්‍ය ආහාර සලාකය දෙන්න ඕනෑ. ඊට එහා දෙයක් ගැන කතා කරන්න පුළුවන් එවිටයි. අවතැන් ජනතාවට වාසස්ථාන ඕනෑ. ඒ ගැන ආණ්ඩුවේ නිසි අවධානය මදි. ඒ වගේම, ක්ලීන් ශ්‍රී ලංකා, කියලා කානු ටිකක් සුද්ද කළා. නගර පිරිසුදු කරන වැඩ වගයකුත් කළා. වී ගබඩාත් සුද්ද කළා, හැබැයි වී ගබඩාවල වී ටික ගැන ගැටලුවක් තියෙනවා. රට ක්ලීන් කරන්න කලින් ආණ්ඩුව ඇතුළත අය සුද්ද කරන්න ඕනෑ. ගල් අඟුරු හොරු සිටිනවා. ඒ හැරෙන්නට ටෙන්ඩර් හොරු, අධ්‍යාපන හොරු ආදීන් ඉන්න බව පේනවා. රටේ මවුපියවරුන් දරුවන්ගේ අනාගතය ගැන කල්පනා කරනවා.”
විපක්ෂය විදියට විදෙස් සංචාරවල යෙදෙමින් රටට ගෙනා දේ ගැනත් කියමුද?
“විදෙස් ආධාර, ප්‍රදාන වැඩිපුරම රටට ගෙනාවේ අපියි. එදා රට ගොඩනැඟූ පක්ෂයක්. අදටත් ඒක එහෙමමයි. රට ධනාත්මක තැනකට ගෙන ඒමට කටයුතු කළා. අපි IMFගිවිසුම සමාලෝචනයටත් කටයුතු කරන විටදී සමහරු අපට සමච්චල් කළා. ඉකුත්දා දිට්වා විනාශය හමුවේත් අපි ඒ යෝජනාවම ගෙනාවත් ආණ්ඩුවෙන් ඊට අවධානයක් යොමු කර නැහැ. ඒත්, අනෙත් පක්ෂ එහෙම නෙවෙයිනේ. සුනාමිය අවස්ථාවේදීත් මෙරටට බොහෝ සෙයින් ආධාර ලැබුණා. ඊට සාපේක්ෂව ඉතා අඩු ආධාර උපකාර ප්‍රමාණයක් තමයි මෙවර ලැබුණේ.”
රජයේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම් පිළිබඳ අදහස කුමක්ද?
“ඇත්තටම එහෙම දෙයක් වෙලා තියෙනවාද? මම රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා විදියට, රාජ්‍ය නිලධාරීන්ගේ මූලික වැටුප් අඩුම තරමින් 107%කින් වැඩි කළා. ඒ අතින් ආණ්ඩුව කළ හරිහමන් දෙයක් නැහැ. රජයේ පහළම සේවකයන්ට ආණ්ඩුවේ වැටුප් වැඩි කිරීමෙන් සෙතක් නෑ. රුපියල් පන්දහසක්, හයදහසක් වැඩි වුණා කියලා එයින් වන ලොකු දෙයක් නැහැනේ. ගුරුවරුන් මහමඟට බැහැලා, සුබෝධනී වාර්තාවට අනුව වැටුප් සකස් කරන්නැයි කියන ඉල්ලීමට ආණ්ඩුවේ කන්දීමක් නැහැ.”
ජීවන වියදම පහත හෙළීම ජනතාව කවදත් බලාපොරොත්තු වන දෙයක්?
“ඒක හරි. ඒත්, ඒක අද වෙලා නැහැනේ. ඩොලරය එක තැන තියාගන්නවා කිවුවා. ඛනිජ තෙල් වියදමටත් අඩුවෙන් දෙන්නයි උදම් ඇනුවේ. විදුලි, ජල බිල් අඩු කරනවා කිවුවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල වැට් බදු අඩු කිරීම් ආදී කතා ඇත්ත වුණේ නැහැනේ. ඒ වෙනුවට දැන් කරන්නේ වෙනස් දෙයක්. අඩු කරනවා කිවුව දේවල් තවම නෑ. මේවා විසඳන්න ඕනෑ.”
ගම්බද සංවර්ධනය ගැන කොහොමද?
“මොනරාගල කියන්නේ, ගොවි ජනතාව බහුලව ජීවත්වෙන ප්‍රදේශයක්. අද ඒ අය අසරණ වෙලා. උක් කර්මාන්තය කඩා වටිලා. සීනි කර්මාන්තශාලා ගොඩගන්න ඕනෑ. ගොවීන් පොහොර සහනාධාරය නැතුව ළතැවෙනවා. ගැමියන්ගේ අතමිට හිඟයි. නගරයේ පොළ පාළුවට ගිහින්. මිනිසුන්ට පොළට ඇවිත් අත්‍යවශ්‍ය දේ ගන්න තරම්වත් ආදායමක් නැහැ. ඒ ගම්මු අනුන්ට අත පෑ අය නොවෙයි. ගොවිතැනට බීජ, පොහොර ටික ලැබුණා නම් ඒ ඇති. ඒ ටික දෙන්න කියලයි ගම්මු අපෙන් ඉල්ලන්නේ. ආණ්ඩුවෙන් ඒවා ඉටු නොවන බව ඒ අයට දැන් පැහැදිලියි.
ඒ වගේම, යටිතල පහසුකම් සංවර්ධනය තව සිදුවිය යුතුයි. අපි ආරම්භ කළ සංවර්ධන වැඩ නැවතිලා. මහා මාර්ග සංවර්ධනය එක තැන. වාරි සංවර්ධන කටයුතුවල ප්‍රගතිය ගැටලුවක්. මොනරාගල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ කටයුතුත් සිදුවිය යුතුයි. ඒත්, මාලිමාවේ මන්ත්‍රීවරුන් ඉන්නවාද නැද්ද කියන තත්වයකට පත්වෙලා.”
ඔබලා රට හදන ඉදිරි වැඩපිළිවෙළ ගැනත් කියමුද?
“ඒක විවිධාකාරයි. අපේ සංවිධාන ජාලයට තරුණ ජවය බහුලව යොදවා තිබෙනවා. රටපුරා සමගි වනිතා සංවිධානය දැන් බොහොම ශක්තිමත්. වෘත්තීය සමිති ජාලයත් එසේමයි. සමගි බුද්ධි මණ්ඩපය හරහා විද්වතුන් පෙළගැසී සිටිනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ගුරුවරුන්, රාජ්‍ය නිලධාරීන් ආදී සියල්ලන් එක්කම දැන් අපි ඉදිරි මැතිවරණවලට හොඳ සූදානමකින් සිටින්නේ.”
අපරාධ මර්දනය ජනතා අපේක්ෂාවක්. ඒ අතින් ප්‍රගතිය කොහොමද?
“මාධ්‍ය සංදර්ශන ඉහළයි. ඒ මිසෙක ඇත්තටම බැලුවාම දෙයක් නැහැ. අපේ කාලයේ ඇල්ලූ මත්කුඩු ප්‍රමාණයමයි අල්ලන්නේ. ඊට වඩා අල්ලලා පෙන්වන්නැයි මම ආණ්ඩුවට අභියෝග කරනවා. අපේ කාලයට වඩා සමාජ භීතිකාව වැඩිවෙලා තියෙනවා. එදාට වඩා අද මහමඟදී වෙඩි තබා ඝාතනය කිරීම් ඉහළයි. මිනීමැරීම් වැඩිවීම ගැන ජවිපෙ ප්රමුඛ මේ ආණ්ඩුවට උත්තර නැහැ. විදෙස් රටවල සැඟවී සිටිමින් අපරාධ කළ අයව මෙහේ ගෙනාවා කියලා ආණ්ඩුව ලොකු සංදර්ශනයක් කළානේ. එච්චරයි. ඒවායෙන් ලැබූ ප්‍රතිඵල මොනවාද කියලා අපි ආණ්ඩුවෙන් අහනවා.”
තවදුරටත් විස්තර කරමුද?
“අධිකරණයේ ස්වාධීනත්වය ශක්තිමත් කරන්න ඕනෑ. විනිශ්චයකාරවරුන් පත්කිරීමේදී ජ්‍යෙෂ්ඨත්වයට ඉඩ දිය යුතුයි. විගණකාධිපතිවරයා මෙරට රාජ්‍ය තන්ත්රයේ වැරදි, අඩුපාඩු පෙන්වා දෙන්නෙක්. එය ස්වාධීන තනතුරක්. ආණ්ඩුව රාජ්‍ය ආයතන හැම තැනකටම පත්කර තිබෙන පත්වීම් පිළිබඳව මතභේදාත්මක තැන් තිබෙනවා. මුදල් අමාත්‍යංශයේ ලේකම් සහ ස්වාධීන කොමිෂන් සභාවලට අද පත්කර තිබෙන පිරිස් පිළිබඳවද ගැටලුසහගත තැන් තිබෙනවා. අනෙක, ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින් ආරක්ෂාවත්, මහජන ආරක්ෂාව විෂයයන්ටත් වෘත්තීයමය හැකියාවන් ඉක්මවා වෙනත් හේතු අනුවයි පත්වීම් කර තිබෙන්නේ.
සමගි ජන බලවේගය විදියට දූෂණ විරෝධී පනත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට ගෙනාවේ මමයි. එයින් බලාපොරොත්තු වුණේ සොරකම, දූෂණය පිටුදැකීමයි. ඒත් දැන් අවුරුදු එකහමාරක් ගත වුණත් ආණ්ඩුවට තවම ඒ අතින් හරිහැටි ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් වෙලා නැහැ. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන කඩිනම් කරමින් වරදකරුවන්ට දඬුවම් කිරීමට පෙලඹවීමට ආණ්ඩුව බලයට එන්න කලින් හුඟක් පොරොන්දු දුන්නා. ඒත් ඒවා ඉටුවෙලා නැහැ. කතාවට දක්ෂ ආණ්ඩුවක්. ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීමට අදාළ සිද්ධි උලුප්පා දැක්වූවත් ඊට සාධාරණයක් ඉටු කර නෑ. මම ඉල්ලා සිටිනවා ජනමාධ්‍යවේදීන් ඝාතන පිළිබඳව විමර්ශන ඉක්මන් කරන්න කියලා’”
ඔබ කියන විදියට කටයුතු කරන්නේ කවදාද?
“ඒකට ආණ්ඩුව එක ඡන්දයක් පැවැත්වීම ප්‍රමාණවත්. එදායින් පස්සේ අපි කියන විදියට කරලා පෙන්වනවා.”
නුවන් මහේෂ් ජයවික්‍රම








