දකුණු ඊශ්‍රායලයට අද(15) උදෑසන රික්ටර් පරිමාණයේ 4.2 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් බලපා තිබෙනවා.
මේ හේතුවෙන් මළ මුහුද ආශ්රිත ප්‍රදේශවල අනතුරු ඇඟවීමේ පද්ධති ක්‍රියාත්මක වූ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මෙම කම්පනය මධ්‍යම ඊශ්‍රායලය දක්වා දැනී ඇති බව බලධාරීන් සහ ප්‍රදේශවාසීන් පවසා තිබෙනවා.
භූමි කම්පාව මිට්ස්පේ ෂාලෙම්, අයින් බොකෙක් හෝටල් කලාපය, අරඩ්, නියෝට් හකිකාර්, අයින් තමර්, රොටෙම් කාර්මික කලාපය, නෙවේ සෝහාර්, අයින් ගේඩි, මසාඩා සහ දකුණු නෙගෙව්හි ප්‍රදේශ රැසකට දැනී තිබෙනවා.
එමෙන්ම දකුණින් අයිලට් දක්වාත්, ජොර්දාන් නිම්නය සහ ජෙරුසලම දක්වාත් මෙහි බලපෑම දැනී ඇති බව සඳහන්.
මෙම භූමිකම්පාව එරට වේලාවෙන් පෙරවරු 9:00 ට පමණ සිදුවූ අතර, හෝම් ෆ්රන්ට් කමාන්ඩ් හි ස්වයංක්‍රීය අනතුරු ඇඟවීමේ පද්ධතිය මළ මුහුදේ ඇතැම් ප්‍රදේශවල ක්‍රියාත්මක වුණා.
යුරෝ-මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානයට (EMSC) අනුව, භූමිකම්පාවේ කේන්ද්‍රය ඩිමෝනා නගරයේ සිට කිලෝමීටර් 19 ක් (සැතපුම් 12 ක්) දුරින් පිහිටි මළ මුහුදේ රිෆ්ට් නිම්නයේ පිහිටා තිබුණා.
මාගන් ඩේවිඩ් ඇඩම් හදිසි වෛද්‍ය සේවය ප්‍රකාශ කළේ කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නොමැති බවයි.
කෙසේ වෙතත්, ඩිමෝනා නගරාධිපති බෙනී බිටන් පැවසුවේ, “මගේ මුළු කාර්යාලයම සෙලවුණා, අපේ නාගරික හදිසි මධ්‍යස්ථානය කඩා වැටුණා” යනුවෙන්. ගොඩනැගිලි සහ පොදු ස්ථානවල අනතුරුදායක තත්ත්වයන් පරීක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරීන් යොදවා තිබෙනවා.
බීට් ෂෙමේෂ් නගරයේ පාසල් සඳහා ජාතික හදිසි පෙරසූදානම් අභ්‍යාසයක් පැවැත්වීමට මිනිත්තු කිහිපයකට පෙර මෙම කම්පනය සිදුවුණා.
මළ මුහුද කලාපය භූ විද්‍යාත්මකව සක්‍රීය සිරියානු-අප්‍රිකානු රිෆ්ට් කලාපයේ පිහිටා ඇති අතර එහි මීට පෙරද භූමිකම්පා සිදුවී තිබෙනවා.
2023 වසරේදී මෙම කලාපයේම පිහිටි තුර්කියේ ඇති වූ රික්ටර් පරිමාණයේ 7.8 ක ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයින් 56,000 කට වඩා වැඩි පිරිසක් මිය ගියා.








