උසස් පෙළ විභාගයේ කල් දැමුණු ඉතිරි විෂයයන් අද සිට ආරම්භ වෙයි

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයයන් අද (12) දිනයේ සිට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, අද සිට ලබන 20 වැනිදා දක්වා එම විභාගය පැවැත්වීමට නියමිත බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි සඳහන් කළේ.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,086 කදී විභාගය පැවැත්වීමට නියමිත අතර, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325 ක් සහ ප්‍රාදේශීය මධ්‍යස්ථාන 32 ක් පිහිටුවා තිබෙනවා.

ආපදා තත්ත්වය හේතුවෙන් ජාතික හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර, විදේශ ගමන් බලපත්‍ර වැනි අනන්‍යතා පත්‍ර අස්ථානගත වී ඇත්නම්, තාවකාලික අනන්‍යතා පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් විභාගයට පෙනී සිටීමට විභාග අපේක්ෂකයින්ට අවස්ථාව සලසා දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.