මෙරට තැපෑලේ සුවිශේෂි පිබිදීමක්

මහා භාණ්ඩාගාරය විසින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුව වෙත 2025 වර්ෂයට අඳාළව ලබා දුන් ආදායම් ඉලක්කය ඉක්මවා ආදායම් ඉපයීමට එම දෙපාර්තමේන්තුව සමත් වූ බව වත්මන් තැපැල්පති රුවන් සත්කුමාර මහතා සදහන් කරයි.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුව වෙත මහා භාණ්ඩාගාරය විසින් 2025 වර්ෂයට ලබා දුන් ආදායම් ඉලක්කය ඉක්මවා රුපියල් මිලියන 13,100 ක ආදායමක් උපයා ඇති බව ද තැපැල්පතිවරයා පැවසීය.

එමෙන්ම පසුගිය වර්ෂය තුළ දී ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවට එම සේවාවට අඳාළව විවිධ වෘත්තීන් සදහා නව බදවා ගැනීම්, ස්ථීර කිරීම් රාශියක් සිදුකළ බවත්, නව තැපැල් කාර්යාල සදහා මුල්ගල තැබීම්, විවෘත කිරීම් ද බොහෝමයක් සිදුවූ බවත් තැපැල්පති රුවන් සත්කුමාර මහතා තවදුරටත් පවසා සිටී.

ඒ පිළිබදව විස්තර කරමින් තැපැල්පතිවරයා කියා සිටියේ 2025 ජුනි මාසයේ දී ශ්‍රී ලංකා තැපැල් සේවාවේ උප තැපැල් ස්ථානාධිපතිවරුන් 378ක් සදහා ස්ථීර පත්වීම් ලබා දීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ බවත්, එම ස්ථීර කිරීම 2020 වර්ෂයෙන් පසුව සිදුවූ පළමු උප තැපැල් ස්ථානාධිපතිවරුන් ස්ථීර කිරීම බවත්ය.

2022 වර්ෂයෙන් පසු තැපැල් සහයකවරුන් 1000 කගේ පත්වීම් ස්ථීර කිරීමට පසුගිය වර්ෂයේ සැප්තැම්බර් කටයුතු කළ බවද, සදහන් කළ ඒමහතා තැපැල් සේවා නිලධාරීන් 600ක් විවෘත පදනම යටතේ බදවා ගැනීමට කටයුතු කෙරෙන බවත්, එම බදවා ගැනීම් මෙම වර්ෂයේ දී පෙබරවාරි මාසයේ දී සිදුකිරීමට නියමිත බවත් පැවසීය.

තව දුරටත් අඳාළ බදවා ගැනීම් පිළිබදව කරුණු අණාවරණයකළ තැපැල්පතිවරයා ප්‍රාථමික ශිල්පීය නිලධර ගණයේ III වන ශ්‍රේණියේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 40ක් සම්පූර්ණ කිරීම සදහා පසුගිය වර්ෂයේ නොවැම්බර් මාසයේ දී පත්වීම් ලබා දුන්බවත්, එම පත්වීම් ලබා දීම 2018 වර්ෂයෙන් පසුව සිදුවූ බව ද සදහන්කර සිටියේය.

2021 වර්ෂයෙන් පසු ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවට ස්ථිර තැපැල් සහයක බඳවා ගැනීම් සිදුකර නොමැති අතර අදාල පුරප්පාඩු සංඛ්‍යාවෙන් 1000 ක් බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාකළ ඉල්ලීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති අතර තැපැල් දෙපාර්තුමේන්තුවේ ආදේශක සේවකයින් ලෙස ලියාපදිංචි වී සිටි නිසි සුදුසුකම් සම්පුර්ණ කළ පිරිස අතරින් 731 දෙනෙකු පසුගිය වර්ෂයේ බඳවා ගැනීමට ද කටයුතු කර ඇති බව ද පැවසීය.

විධිමත් කාර්යක්ෂම තැපැල් සේවාවක් ජනතාවට ලබා දීමේ අරමුණින් පසුගිය වර්ෂයේ දී දෙපාර්තමේන්තුවට පරිඝණක යන්ත්‍ර 225ක්, උප තැපැල් ස්ථානාධිපතිවරුන් සදහා ටැබ් පරිඝණක 1500ක්, මුද්‍රණ යන්ත්‍ර 500ක්, ලේසර් මුද්‍රණ යන්ත්‍ර 32ක් මිලදී ගත් බවත් රුවන් සත්කුමාර මහතා සදහන් කර සිටියේය.

එමෙන්ම ශ්‍රී ලංකා තැපැල් සේවාව කාර්යක්ෂමව නව මානයකට රැගෙන යාමේ අරමුණින් ප්‍රවාහන පහසුකම් සංවර්ධනය කිරීමට ද පසුගිය වර්ෂයේ කටයුතු කළ බව ද සදහන්කළ තැපැල්පති රුවන් සත්කුමාර මහතා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට විශාල ප්‍රමාණයේ නව ලොරි රථ 10ක්, නව කෘෘ කැබ් රථ 20ක් ද තැපැල් ප්‍රවාහනය සදහා යොදාගැනීමට නියමිත අතර, QSF අරමුදල යටතේ ලබා දුන් $ 500,000 මුදල උපයෝගී කරගෙන විද්‍යුත් කාගෝ ත්‍රීරෝද රථ 20ක් සහ විද්‍යුත් යතුරුපැදි 165 මිලදී ගැනීම සදහා ප්‍රසම්පාදන කටයුතු ආරම්භකර ඇති බව ද සදහන් කර සිටියේය.

USPS ප්‍රදානයක් ලෙස $ 100,000 මුදලක් ලැබී ඇති බවත්, එම මුදලින් විද්‍යුත් කාගෝ ත්‍රීරෝද රථ 15 ක් මිලදී ගැනීමට නියමිත බවත් පැවසීය. රජය විසින් මිලදී ගැනීමට නියමිත කැබ්රථ වලින් 21ක් ශ්‍රී ලංකා තැපැල් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට ලබා දීමට නියමිත බවත් පැවසූ ඒමහතා 2018 වර්ෂයෙන් පසු තම දෙපාර්තමේන්තුවට වාහන මිල දී ගැනීමක් සිදු නොකර ඇති බව ද පැවසීය.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ යටිතල පහසුකම් සංවර්ධනයේ දී නව තැපැල් කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම සදහා 2025 වර්ෂය ආරම්භයේ දී රුපියල් මිලියන 600ක මුදලක් රජය වෙන්කළ බව ද සදහන් කර සිටියේය. ඒ අනූව දඹුල්ල ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානය ඇතුළුව තැපැල්කාර්යාල 14ක වැඩකටයුතු ආරම්භකළ බවත්, ඊට අමතරව නුවරඑළිය යුනික්විව් සංචාරක නිවාඩු නිකේතනය, නුවරඑළිය යුනික්විව් නිල නිවාස සංකීර්ණය, නුවරඑළිය ප්‍රා. තැපැල් අධිකාරී ගොඩනැගිල්ල සහ තැපැල් කාමරය ඉදිකිරීම් ආරම්භ කළ බව ද සදහන්කර සිටියේය.

මීට අමතරව පොලොන්නරුව නව තැපැල් කාර්යාලයත් ගෙවීගිය වර්ෂයේ දී ජනතා අයිතියටපත්කළ බව ද තැපැල්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
මීට අමතරව තැපැල් මූලස්ථානය, මධ්‍යම තැපැල් හුවමාරුව ,පොලොන්නරුව තැපැල් සංකීර්ණය, මඩකලපුව තැපැල් සංකීර්ණය යන ස්ථානවල සූර්යපැනල සවිකිරීමද සිදුකළ බව ද රුවන් සත්කුමාර මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේය.