කොණ්ඩ රංජිගේ අපරාධ වාර්තා CIDයෙන් ඩුබායි පොලීසිය වෙත

අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රංජිත් කුමාර හෙවත්  ‘කොණ්ඩ රංජි’ සම්බන්ධ වන අපරාධ වාර්තා ඩුබායි පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම අපරාධ වාර්තා ජාත්‍යන්තර පොලීසිය හරහා ඩුබායි පොලීසිය වෙත ලබාදීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කොණ්ඩ රංජි හෙවත් රංජිත් කුමාර, ඉතාලියට පලා යාමට උත්සාහ කිරීමේදී ඩුබායිහිදී ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබුණි.

එරට ආරක්ෂක අංශ විසින් මෙම සැකකරු සමග ඔහුගේ බිරිඳ සහ දරුවන් ද අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව බිරිඳ සහ දරුවන් මුදාහැර තිබුණු බව සඳහන්ය.

කොණ්ඩ රංජි හෙවත් රංජිත් කුමාර, හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකු බව ද වාර්තා වෙයි.

අදාළ සැකකරු ඩුබායි මූලස්ථාන පොලීසියේ රඳවා සිටින බව සඳහන් වේ.

මේ අතර, කොණ්ඩ රංජි හෙවත් රංජිත් කුමාර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෝල්ඩන් වීසා හිමියෙකු වන අතර, එය වසර 10ක කාලයක් සඳහා නිකුත් කර ඇති වීසා වර්ගයක් බව ද වාර්තා වේ.