එක්සත් රාජධානියට ඇඟලුම් අපනයනයට තීරු බදු රහිත ප්‍රවේශයක්

ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ට ජනවාරි පළමු වන දා සිට බලපැවැත්වෙන පරිදි එක්සත් රාජධානියට සිදුකෙරෙන ඇඟලුම් අපනයනයන්හි තීරු බදු රහිත ප්‍රවේශය හිමිව තිබේ.

සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා ක්‍රමය සඳහා හඳුන්වා දෙන ලද ප්‍රතිසංස්කරණ ජනවාරි පළමු වන දා සිට ක්‍රියාත්මක බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දී ඇත.

එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ  දෙවන විශාලතම ඇඟලුම් අපනයන වෙළෙඳපොළ වන අතර එහි වටිනාකම ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 675ක් පමණ වේ.

නව විධිවිධාන බලාත්මක වීමත් සමග ශ්‍රී ලංකාවේ සිට එක්සත් රාජධානියට සිදුකෙරෙන ඇඟලුම් අපනයනයන්හි සැලකිය යුතු ඉහළ යාමක් අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලාංකික නිෂ්පාදකයින්ට වරණීය තීරු බදු ප්‍රතිලාභ පවත්වා ගනිමින් කලාපීය හවුල්කරුවන්ගෙන් භාණ්ඩ ලබා ගැනීමට ද අවස්ථාව සැලසෙන අතර මෙම නව වෙළෙඳ රීති යටතේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයින්ට පෙර නොවූ විරූ වරප්‍රසාද රැසක් හිමි වේ.

එහි සුවිශේෂී කරුණු පහත පරිදි වේ:

* අමුද්‍රව්‍ය සපයා ගැනීම: ඇඟලුම් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවලින් 100%ක්ම ලෝකයේ ඕනෑම රටකින් සපයා ගැනීමට නිෂ්පාදකයින්ට අවසර ඇත. එසේ තිබියදීත්, එම නිමි ඇඟලුම් බ්‍රිතාන්‍යයට අපනයනය කිරීමේදී සම්පූර්ණ බදු සහනය හිමි වේ.

* නිෂ්පාදන ක්‍රියාවලිය ලිහිල් කිරීම: මින් පෙර පැවති රීති අනුව ඇඟලුම් නිෂ්පාදනයේදී ප්‍රධාන ක්‍රියාවලීන් දෙකක් ශ්‍රී ලංකාව තුළ සිදු විය යුතු වුවද, නව සංශෝධන මගින් එම කොන්දේසිය ඉවත් කර නිෂ්පාදන ක්‍රියාවලීන් සරල කර ඇත.

* ආසියානු කලාපීය එකතුව (Asia Regional Cumulation): ඇඟලුම් නොවන අනෙකුත් අපනයන සඳහා රටවල් 18කින් සමන්විත ආසියානු කලාපීය කණ්ඩායමක් හඳුන්වා දී ඇත. මේ හරහා එම රටවලින් අමුද්‍රව්‍ය ලබාගෙන නිෂ්පාදනය කරන භාණ්ඩ සඳහා ද බ්‍රිතාන්‍යයේ වෙළෙඳ සහන අඛණ්ඩව ලබා ගත හැකිය.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය:

“දැනට ක්‍රියාත්මක වන මෙම ප්‍රතිසංස්කරණ මගින් වෙළෙඳ හවුල්කාරිත්වය හරහා පොදු සමෘද්ධියක් ඇති කිරීමට එක්සත් රාජධානිය දක්වන කැපවීම මනාව පෙන්නුම් කරනවා. භාණ්ඩවල ප්‍රභවය පිළිබඳ නීති (Rules of Origin) සරල කිරීම මගින් අපි ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහය දෙනවා. එමෙන්ම අපනයන විවිධාංගීකරණය කිරීමටත්, බ්‍රිතාන්‍ය වෙළෙඳපොළට ඇති ප්‍රවේශය පුළුල් කිරීමටත් මෙය මහඟු පිටිවහලක් වනු ඇත.”