ස්නායු රෝගී දරු­වන් රැක බලා ගැනී­මට තවත් විශේෂ වැඩ­පි­ළි­වෙ­ළක්

ඔටි­සම් වැනි ස්නායු රෝග­ව­ලින් පෙළෙන දරු­වන් රැක බලා ගැනීමේ දැනට තිබෙන වැඩ­පි­ළි­වෙ­ළට අම­ත­රව විශේෂ වැඩ­පි­ළි­වෙ­ළක් සැල­සුම් කරන බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (08) පැව­සීය.

ප්‍රති­කා­ර­යෙන් ඔබ්බට ගොස් දරු­වන් රැක බලා ගැනීමේ වැඩ­පි­ළි­වෙළ සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­යට පම­ණක් නොව තවත් අමා­ත්‍යාං­ශය කිහි­ප­යක සම්බ­න්ධී­ක­ර­ණ­යෙන් ක්‍රියා­වට නැංවිය යුතු බවත් ග්‍රාමීය සංව­ර්ධන අමා­ත්‍යාං­ශය, ළමා හා කාන්තා කට­යුතු අමා­ත්‍යාං­ශය යනාදී අමා­ත්‍යාංශ මේ සඳහා ඒකා­බද්ධ විය යුතු බවත් ඇමැ­ති­ව­රයා පැව­සීය.

මේ ගැට­ලුව කෙරෙහි ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ද අව­ධා­නය යොමුව ඇතැයි ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය. නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ මහ­නු­වර දිස්ත්‍රික් මන්ත්‍රී අනු­රාධ ජය­රත්න මහතා වාචි­කව ඇසූ ප්‍රශ්න­යට පිළි­තුරු දෙමින් ඒ මහතා මේ බව කියා සිටි­යේය.

ඔටි­සම් වැනි රෝග­ව­ලින් පීඩා විඳින දරු­වන් කල් ඇතිව හඳු­නා­ගෙන ඒ සඳහා චිකි­ත්සක ප්‍රති­කාර ලබා දීමේ වැඩ­ස­ට­හන ලෙස අන්ත­ර්ක­රණ මුල් ළමා­විය සංව­ර්ධන වැඩ­ස­ට­හන ක්‍රියා­වට නංවන බව ද ඇමැ­ති­ව­රයා කීය.ඔටි­සම් ප්‍රති­කාර ලබා දීම සඳහා 2025 වස­රේදී රුපි­යල් මිලි­යන 200ක මුද­ලක් ද, 2026 වස­රේදී තවත් රුපි­යල් මිලි­යන 100ක මුද­ලක් ද වෙන් කර ඇති බවත් රට පුරා රෝහල් 20ක මේ රෝග­යට ප්‍රති­කාර ලබා දීම සිදු කරන බවත් ඇමැ­ති­ව­රයා පැව­සීය.

ඔටි­සම් ඇතුළු ස්නායු රෝග­ව­ලින් පෙළෙන දරු­වන් රැක බලා ගැනී­මට විශේෂ වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක විය යුතු අතර ප්‍රති­කාර කිරීම පම­ණක්ම නොව මේ දරු­වන් රැක­බලා ගැනීම සඳහා විශේෂ වැඩ­පි­ළි­වෙ­ළක් ලෙස දරු­වන් රැක බලා ගන්නා සුරැ­කුම් මධ්‍ය­ස්ථාන වැඩි කිරී­මට රජය පිය­වර ගන්නා බව ද ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඔටි­සම් ප්‍රති­කාර මධ්‍ය­ස්ථා­න­යක් ආරම්භ කිරීමේ මූලික කට­යුතු ආරම්භ කරන බවත් ඒ සඳහා ප්‍රති­පා­දන වෙන් කර ඇති බවත් ඇමැ­ති­ව­රයා පැව­සීය.ඔටි­සම් වැනි දරු­වන් සඳහා සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ විශේෂ සෞඛ්‍ය ඒක­ක­යක් ආරම්භ කිරී­මට පිය­වර ගන්නා බව ද ඇමැ­ති­ව­රයා පැව­සීය.

ස්වර්ණා විජේ­කෝන්, මහින්ද අලු­ත්ගෙ­දර, සන්ධ්‍යා කරු­ණා­රත්න