ජාතික අධ්‍යාපන ආයතනය යටතට පවරා තිබෙන පොත් පිළියෙල කිරීමේ හා මුද්‍රණය කිරීමේ වගකීම නැවත වතාවක් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව යටතට ගැනීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැතිනි, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හමුවේ ඊයේ (08) පැවසුවාය.
පාසල් සිසුන් වෙනුවෙන් පිළියෙල කරන කිසිදු විෂයමාලා පොතකට මින් ඉදිරියට වෙබ් අඩවි සඳහා ප්‍රවේශය විය හැකි යොමු ඇතුළත් නොකරන බවට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි ද ඇය පැවසුවාය. අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අන්තර්ජාලය භාවිත කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද සම්බන්ධව මඟපෙන්වීම් සකස් කරමින් පවතින බව ද අගමැතිනිය කීවාය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී 6 වසර ඉංග්‍රීසි අධ්‍යාපන මොඩියුලයට ප්රශ්නකාරි වෙබ් අඩවියක නාමය සඳහන් වීමෙන් බරපතළ වරදක් සිදුව තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කිසිසේත් පසුබට නොවන බවත් මෙහිදී අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 01 සිට 06 වසර දක්වා සිසුන් අතර බෙදාදීමට නියමිත පොත් කට්ටල 106 අධ්යයන්ය කිරීම සඳහා අගමැතිනිය විසින් මෙහිදී මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාට පිළිගැන්වූවාය.
අගමැතිනිය මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන්ද අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන්ද බැහැදැක ආශිර්වාද ලබාගත්තාය.
ප්‍රශ්න සහගත ඉංග්‍රීසි විෂයට අදාළ මොඩියුලය සම්බන්ධයෙන් අදහස් දැක්වූ හරිනි අමරසූරිය මෙණෙවිය මූලික විමර්ශන වාර්තාව අනුව මෙම ක්‍රියාවලිය පරීක්ෂාවට ලක්වන කිසිඳු ස්ථානයකින් අදාළ වෙබ් අඩවිය හඳුනාගෙන නොමැති බව දැනුම් දී තිබෙන බවත් එය සිදුවූයේ කෙසේ ද යන්න බරපතළ ගැටලුවක් බවත් කීවාය.
සිදුව ඇති වරද මූලික කරගනිමින් තවදුරටත් පොත් කට්ටල පරීක්ෂා කිරීමේදී අක්ෂර වින්‍යාස දෝෂ ඇතුළු තවත් වැරදි කිහිපයක් හඳුනාගැනීමට හැකිවූ බව ද අගමැතිනිය ප්‍රකාශ කළාය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සම්බන්ධව දැනුවත් කරමින් ගුරුවරු 5,000කට ආසන්න පිරිසක් අතට මෙම පොත ලබා දී පුහුණුවක් ලබාදුන් බවත් එහිදී හෝ මෙය කිසිවකුගේ අවධානයට යොමු නොවුණු බවත් මහනායක හිමිවරු හමුවේ අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
අධ්‍යාපනයට අදාළව තාක්ෂණය භාවිත කරන විට ළමාරක්ෂණය පැත්තෙන් අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති සකස් කරමින් පවතින බවත් එය කෙටුම්පත් කිරීමෙන් ඒ සම්බන්ධව මහනාහිමිවරුන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් ඇය කීවාය.
මෙහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරන්පනාවේ ආනන්ද නාහිමියෝ අදහස් දක්වමින් නව අධ්‍යාපන ප්‍රතසංස්කරණ කාලීන අවශ්‍යතාවක් බවත් ආණ්ඩු මාරුවන විට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් අධ්‍යාපනයට අවශ්‍යය බවත් පැවසූහ.
රටේ සංස්කෘතිය සම්බන්ධයෙන් ගැටලු මතුවන අවස්ථාවල ජනතාව ඒ සම්බන්ධයෙන් ඉතා සංවේදීව කටයුතු කරන බවත් දැන හෝ නොදැන මෙම වෙබ් අඩවිය සම්බන්ධ තොරතුරු පොතට ඇතුළුවීම වරදක් බවත් උන්වහන්සේ කීහ.
මෙහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, බදුල්ල මුතියංගණ රජමහා විහාරස්ථානයේ භාරකාර ආචාර්ය මුරුද්දෙණියේ ධම්මරතන නාහිමියෝ බොහෝ වෙබ් අඩවි පාලනය කරනු ලබන්නේ විදේශ රටවල සිට බවත් මේවාට ඉදිරියේදී මොන ආකාරයේ දේවල් ඇතුළු කරයි ද යන්න කිසිවකුත් නොදන්නා බවත් කීහ.
නූතන ලෝකයේ දැනුම හා තාක්ෂණය දරුවන්ට ලබාදීම සම්බන්ධයෙන් කිසිදු තර්කයක් නොමැතිවුවත් මේ ආකාර අපේ සංස්කෘතියට නොගැළපෙන වෙබ් අඩවි පිළිබඳ තොරතුරු පාසල් පෙළ පොත්වලට ඇතුළු කිරීම වරදක් බව ද උන්වහන්සේ පැවසූහ.
ඔස්ට්‍රේලියාව වැනි රටවල වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර තිබෙන බවත් එම රටවල් ඒ අකාර තීන්දු ගනු ලබන්නේ ඇයි කියන කරණය අපි ගැඹුරින් කල්පනා කර බැලිය යුතුව තිබෙන බවත් නියෝජ්‍ය ලේඛකාධිකාරි හිමියෝ ප්‍රකාශ කළහ.
අසේල කුරුළුවංශ








