රුමේනියාවේ රැකියා අවස්ථා දෙන බවට පොරොන්දු වී රුපියල් කෝටි 86කට වඩා වැඩි මුදලක් වංචා කළ බවට චෝදනා ලබා ආන්දෝලනයට ලක්ව ඇති විදේශ රැකියා ආයතනයේ සැබෑ හිමිකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත්, එම ජාවාරම සිදු කර තිබුණේ දැඩි දේශපාලන රැකවරණය යටතේ බවත් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක කටයුතු ඇමැති විජිත හේරත් මහතා පෙරේදා (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මීට පෙර අවස්ථාවකදී මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“අදාළ සිදුවීමට සම්බන්ධ ඇත්ත පිරිස මෙතෙක් අත්අඩංගුවට ගෙන නෑ. දේශපාලන රැකවරණය යටතේ මේ වංචාව සිදු කර ඇත්තේ විපක්ෂ නායකවරයාගේ පාර්ශ්වයේ සිට එම වකවානුවේදී පැවති ආණ්ඩුවට ගිය අයෙක්.
පසුගිය වකවානුවේ විවිධ රැකියා ඒජන්සි විසින් මුදල් ගනිමින් රැකියා දෙන බව සඳහන් කරමින් වංචා රැසක් සිදු කර තිබෙනවා. එම විදේශ රැකියා ආයතනය විසින් මේ රැකියා වංචා සිදු කර ඇත්තේ දැඩි ලෙස දේශපාලන රැකවරණය ලබමින්.”
මහරගම සහ බත්තරමුල්ලේ පිහිටි මේ විදේශ රැකියා ආයතනය රුමේනියාවේ රැකියා අවස්ථා දෙන බව සඳහන් කරමින් කෝටි අසූ හයකට අධික මුදලක් වංචා කර ඇති බව එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. මීට අදාළ විමර්ශන මන්දගාමී ලෙස සිදු වන බවත්, මේ සම්බන්ධයෙන් වහා අවධානය යොමු කරන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවේය.
ස්වර්ණා විජේකෝන්,
මහින්ද අලුත්ගෙදර,
සන්ධ්‍යා කරුණාරත්න








