ගැටලුකාරී තත්ත්වයක් ඇතිවූ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු වෙබ් අඩවියක් අඩංගු වී තිබූ පාඩම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලයේ අනුමැතිය ලබාදී ඇතැයි අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසුවාය.
මෙම ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් පුළුල් විමර්ශයක් ආරම්භ කර ඇති බවත් මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාවන් පවත්වන විටදී තවදුරටත් මෙවැනි දේවල් ප්‍රවර්ධනය නොවන ආකාරයට සාකච්ඡාවන් පැවැත්විය යුතු බවත් අගමැතිවරිය පැවසුවාය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියාය.
අගමැතිවරිය මෙසේද පැවසුවාය.
“සංකල්ප පත්‍රිකාව අධ්‍යයන උපදේශක සභාවේ සාකච්ඡාවට ගත්තා. ඒක සියලුම මන්ත්‍රීවරුන්ටත් ලබාදෙන්න අපි වෙබ් අඩවියෙත් දාලා තියෙනවා. ඒ පිළිබඳ සාකච්ඡා අපි පාර්ලිමේන්තුව තුළ කළා. ඕනෑ අවස්ථාවක ඒ සංකල්ප පත්‍රිකාව මත පදනම් කරගෙන අපිට ඒක තව දියුණු කරන්න, සාකච්ඡා කරන්න පුළුවන්.
අපි කිසිසේත්ම විරුද්ධ නැහැ. ඒ සංකල්ප පත්‍රිකාවේ මේ මොඩියුලයේ අන්තර්ගතය පිළිබඳව නැහැ. සංකල්ප පත්‍රිකාවේ තියෙන්නේ කරන්න යෝජිත ව්‍යූහාත්මක වෙනසේ රාමුව පිළිබඳව. මේ සිද්ධිය වාර්තා වූ වහාම අපි ඒ පිළිබඳව කරුණු සොයාබැලීමට විමර්ශනයක් ආරම්භ කළා. ජාතික අධ්‍යාපන ආයතනය මඟින් මොඩියුල හදන ක්‍රමවේදයක් තිබෙනවා. ඒ තුළ මෙවැනි දෙයක් සිදු වුණේ කොහොම ද කියලා විමර්ශන කරනවා.
ජාතික අධ්‍යාපන ආයතනයෙන් මූලික විමර්ශනයක් කරනවා. ඒ සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන පාලක මණ්ඩලය විසින් රංජිත් ආරියරත්න හිටපු ලේකම්වරයා පත් කළා. මූලික විමර්ශන පවත්වන්න ඒ මහතා කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරනවා. මේ සිද්ධිය වාර්තා වූ වහාම අපි මේ පොත මුද්‍රා තැබුවා. ඒ පොත ළමයින්ට බෙදලා නැහැ. එම පොතෙන් අදාළ පාඩම ඉවත් කරන්න පියවර ගෙන තිබෙනවා.”
ස්වර්ණා විජේකෝන්, මහින්ද අලුත්ගෙදර, සන්ධ්‍යා කරුණාරත්න








