එක්සත් ජාතීන්ගේ සංවිධාන රැසකින් ඉවත් වීමට ට්‍රම්ප්ගෙන් නියෝග

අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික අවශ්‍යතාවලට පටහැනිව ක්‍රියා කරන බව පවසමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන ඇතුළු ජාත්‍යන්තර සංවිධාන 66කින් වහාම ඉවත් වීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා.

ඒ අනුව, ලෝකයේ ප්‍රධානතම දේශගුණික ගිවිසුම වන දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුතිය (UNFCCC) ඉවත් වන ලොව පළමු රට බවට අමෙරිකාව පත්වනවා.

මෙය 2015 පැරිස් දේශගුණික ගිවිසුමේ මව් සංවිධානයයි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානතාවය වෙනුවෙන් පෙනී සිටින UN Women ආයතනයෙන් සහ පවුල් සැලසුම් හා මාතෘ සෞඛ්‍යය පිළිබඳ කටයුතු කරන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙන් (UNFPA) ද අමෙරිකාව ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

එසේම මෙම ලැයිස්තුවට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් නොවන කණ්ඩායම් 35ක් සහ එක්සත් ජාතීන්ගේ ආයතන 31ක් ඇතුළත්.

ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම ආයතන අමෙරිකානු බදු ගෙවන්නන්ගේ මුදල් නාස්ති කරන අතර ඒවායේ ක්‍රියාකාරීත්වය අමෙරිකාවේ ස්වෛරීභාවයට සහ ආර්ථිකයට තර්ජනයක් බව සඳහන්.

“අමෙරිකාව පළමුව” (America First) යන ප්‍රතිපත්තිය යටතේ මෙම තීරණය ගත් බවයි ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ.

මෙම පියවර පිළිබඳව පරිසරවේදීන් සහ ජාත්‍යන්තර නායකයින් දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා.

ස්වභාවික සම්පත් ආරක්ෂණ කවුන්සිලයේ (NRDC) ප්‍රධානී මනීෂ් බප්නා පවසන්නේ, මෙම තීරණය හරහා ගෝලීය ආර්ථික සහ දේශගුණික ප්‍රතිපත්ති හැඩගැස්වීමට අමෙරිකාවට තිබූ අවස්ථාව අහිමි වන බවයි.