අද කාලගුණ නිවේදනය

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඊයේ (07) රාත්‍රී 11.30 වන විට පොතුවිල් සිට 490 km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.3 සහ දේශාංශ 86.0 ආසන්නයේ කේන්ද්‍රගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්, ඉදිරි පැය 24 තුළ දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන අතර, මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට හැකියාව පවතින බවයි සඳහන් වන්නේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. (50-75) ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-60 පමණ තද සුළං ඇතිවීමේ හැකියාව පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.