රට පුරා පොලිස් ස්ථාන 400ක් දක්වා ආවරණය වන පරිදි 1990 සුවසැරිය ගිලන්රථ සේවාව මේ වසර අවසන් වන විට පුළුල් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) පැවසීය.
දැනට රට පුරා පොලිස් ස්ථාන 272ක් ආවරණය වන පරිදි සුවසැරිය සේවාව ක්‍රියාත්මක වන බව ද ඇමැතිවරයා පැවසුවේය.
ජාතික ජන බලවේගය මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී කන්දසාමි ප්‍රභූ මහතා වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. 1990 සුවසැරිය ගිලන්රථ සේවාවේ කාර්ය මණ්ඩලයේ වෛද්‍ය තාක්ෂණ නිලධාරීන් සංඛ්‍යාව 500ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවත් ඉන්දියානු රජය සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ ඒකාබද්ධව එම කටයුතු සිදු කරන බවත් ඇමැතිවරයා පැවැසුවේය.
සුවසැරිය සේවාව සඳහා නව සේවක බඳවා ගැනීම් කටයුතු සහ පුහුණු කිරීම් කටයුතු සිදු කරමින් තිබෙන බවත් කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධව රාගම වෛද්‍ය පීඨය තුළ පමණක් මීට අදාළ වෛද්‍ය තාක්ෂණ නිලධාරීන් පුහුණු කරමින් සිටින අතර මේ වන විට එම පුහුණු කිරීම් කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර සහ යාපනය විශ්වවිද්‍යාල දක්වා පුළුල් කර ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.








