අනා­ගත පර­පුර විෂ මත්ද්‍රව්‍ය උව­දු­රෙන් මුදා ගැනී­මට සියලු දෙනා වග­කීම් ඉටු කරමු

රටේ අනා­ගත පර­පුර විෂ මත්ද්‍රව්‍ය උව­දු­රෙන් මුදා ගැනී­මට සියලු දෙනා වග­කීම් ඉටු කර­මු­යැයි ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මේ බව සඳ­හන් කළේ විෂ මත්ද්‍රව්‍ය උව­දුර මෙර­ටින් තුරන් කිරීම සඳහා ගොඩ­න­ඟන ලද “රටම එකට” ජාතික මෙහෙ­යුම් සභාවේ තෙවන සැසිය ත්‍රෛනි­කා­යික මහා සංඝ­ර­ත්නය ඇතුළු ආග­මික නාය­ක­යන්ගේ සහ­භා­ගී­ත්ව­යෙන් ජනා­ධි­පති කාර්යා­ල­යේදී ඊයේ (06) පෙර­ව­රුවේ රැස් වූ අව­ස්ථා­වට එක් වෙමිනි.

රටේ භෞතික සංව­ර්ධ­නය මෙන්ම සමා­ජයේ යහ­පැ­වැත්ම සහ ස්ථාව­ර­භා­ව­යද ඉතා වැද­ගත් බවත්, ජාතික ව්‍යස­න­යක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උව­දුර මෙර­ටින් තුරන් කර­මින් රටේ අනා­ගත පර­පුර මේ ව්‍යස­න­යෙන් මුදා ගැනී­මට සිය­ලු­දෙනා වග­කීම් ඉටු කළ­යුතු බවත් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා අව­ධා­ර­ණය කළේය.

දිව­යින පුරා මත්ද්‍රව්‍ය සැප­යුම අඩාළ කිරීම, වැට­ලීම් පුළුල් කිරීම, ඇබ්බැ­හි­වූ­වන් පුන­රු­ත්ථා­ප­නය, මත්ද්‍රව්‍ය භාවි­තය වැළැ­ක්වීම අර­මුණු කර­ගත් නිවා­රණ වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කිරීම සහ මත්ද්‍ර­ව්‍ය­ව­ලට එරෙ­හිව ප්‍රජාව සවි­බල ගැන්වීම යන බහු­විධ ප්‍රවේශ මඟින් රටේ ව්‍යාප්තව පව­තින මත්ද්‍රව්‍ය උව­දුර මුලි­නු­පුටා දැමීම ඉලක්ක කර ගනි­මින් “විෂ මතින් තොර රටක් – සතුට පිරි හෙටක්” තේමාව යටතේ “ඉවත් වෙනු – රටම එකට” ජාතික මෙහෙ­යුම ක්‍රියා­ත්මක කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් සහ බෙදා හරි­න්නන්ට එරෙ­හිව දැවැන්ත සමාජ බල­පෑ­මක් සහ පීඩ­න­යක් ගොඩ­නැ­ඟී­ම­ටත්, විෂ මත්ද්‍රව්‍ය භාවිත කර­න්නන් පුන­රු­ත්ථා­ප­නය සඳ­හාත් රජය, ආර­ක්ෂක අංශ, සිවිල් සංවි­ධාන සහ සියලු පුර­වැ­සි­යන් ඒකා­බද්ධ වූ ජාතික පෙර­මු­ණක් ලෙස මෙය ක්‍රියා­ත්මක වේ.

විෂ මත්ද්‍ර­ව්‍ය­ව­ලට අදා­ළව මේ වන විට සිදු කෙරෙන වැට­ලීම්, අත්අ­ඩං­ගු­වට ගැනීම් සහ පුන­රු­ත්ථා­පන ක්‍රියා­ව­ලියේ ප්‍රග­තිය මෙහිදී පුළුල් ලෙස සාක­ච්ඡා­වට ලක් කෙරුණු අතර, ඊට කැප වී කට­යුතු කරන සියලු ආය­තන, නිල­ධා­රීන් සහ ජන­තා­වට ජනා­ධි­ප­ති­ව­රයා සිය ස්තූතිය පළ කළේය.

2025.01.01 සිට 2026.01.05 දක්වා කාලයේ, හෙරො­යින් 1821.174kgක්, අයිස් 3865.710kgක්, ගංජා 17189.377kgක්, කොකේන් 38.958kgක්, මත්පෙති සහ මත් කරල් 4,049,569ක් අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙන බව මෙහිදී අනා­ව­ර­ණය කෙරිණි. පසු­ගිය සාක­ච්ඡා­වේදී තීර­ණය කළ පරිදි අත්අ­ඩං­ගු­වට ගත් මත්ද්‍රව්‍ය තොග කඩි­න­මින් විනාශ කිරීම සම්බ­න්ධ­යෙන් නව නීති සකස් කිරීමේ කට­යු­තු­වල ප්‍රග­තිය ද මෙහිදී කමි­ටුවේ අව­ධා­න­යට යොමු වූ අතර, එම කට­යුතු කඩි­නම් කරන ලෙස ජනා­ධි­ප­ති­ව­රයා අදාළ අංශ­ව­ලට උප­දෙස් දුන්නේය. එමෙන්ම, දැනට අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙන මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීමේ ප්‍රග­තිය පිළි­බ­ඳව ද මෙහිදී සාක­ච්ඡා­වට බඳුන් කෙරිණි.

මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැ­හි­වූ­වන්ගේ සමා­ජ­යීය තොර­තුරු හඳුනා ගැනීමේ අව­ශ්‍ය­තාව සහ ඊට අදාළ දත්ත එක්රැස් කිරීම වෙනු­වෙන් සමී­ක්ෂ­ණ­යක් සිදු කිරීම පිළි­බ­ඳව ද සාකච්ඡා විය.

මේ ජාතික වැඩ­ස­ට­හන පුළුල්ව ඉදි­රි­යට ක්‍රියා­ත්මක කිරීම වෙනු­වෙන් අධ්‍යා­පන ආය­තන, රාජ්‍ය ආය­තන, ස්වේච්ඡා සංවි­ධාන සහ කලා සංවි­ධාන ඇතුළු සියලු පාර්ශ්ව ඒකා­බද්ධ කර ගත් ශක්ති­මත් යන්ත්‍ර­ණ­යක් සකස් කිරීම පිළි­බ­ඳව ද සාකච්ඡා කෙරිණි.

එමෙන්ම, ගම සහ ආග­මික සිද්ධ­ස්ථාන අතර ඇති සබැ­ඳි­යාව භාවි­ත­යට ගනි­මින් ආග­මික නාය­ක­යන්ගේ දාය­ක­ත්වය ඇතිව ජන­තාව දැනු­වත් කිරීමේ වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කිරීම පිළි­බ­ඳව ද මෙහිදී සාකච්ඡා විය.

මල්වතු පාර්ශ්වයේ අනු­නා­යක නියං­ගොඩ විජි­ත­සිරි, අස්ගිරි පාර්ශ්වයේ අනු­නා­යක නාර­ම්ප­නාවේ ආනන්ද, රාමඤ්ඤ මහා නිකායේ අනු­නා­යක වලේ­බොඩ ගුණ­සිරි, කුප්පි­යා­වත්තේ බෝධා­නන්ද යන හිමි­ව­රුන් ප්‍රමුඛ මහා සංඝ­ර­ත්න­යද, නිශාන්ත ප්‍රනාන්දු පිය­තුමා, ශ්‍රී වේලු සුරේෂ් ෂර්මා කුරු­ක්ක­ල්තුමා, මුත්තු­සාමී අල­ගේ­සන් කුරු­ක්ක­ල්තුමා, ෂෙයික් මොහො­මඩ් අර්ක්‍රම් නූරා­මිත් මවු­ල­වි­තුමා, පූජක ප්‍රසා­දීන් වහ­න්සේද, මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති ආනන්ද විජේ­පාල, ජනා­ධි­පති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා­නා­යක, ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ අති­රේක ලේකම් රෝෂන් ගමගේ, ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් විශ්‍රා­මික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයි­ය­කොන්තා මහ­ත්ව­රුන් ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

උපාලි කරු­ණා­රත්න