පොලිස් නිල­ධා­රීන් 500ක් වැර­දි­ව­ලට හසු­වෙලා

මත්ද්‍රව්‍ය හෝ වෙනත් වැර­දි­ව­ලට සම්බන්ධ පොලිස් නිල­ධා­රීන් 500 දෙනකු පමණ මේ වන විට හසුවී ඇතැයි පොලි­ස්පති නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය මහතා සඳ­හන් කරයි. එම නිල­ධා­රීන් සම්බ­න්ධ­යෙන් විනය පිය­වර ගෙන ඇති අතර, ඒ සම්බ­න්ධ­යෙන් තහ­වුරු කර­ගැ­නී­මෙන් පසුව සේව­යෙන් ඉවත් කිරී­මට පිය­වර ගෙන ඇති බවද පොලි­ස්ප­ති­ව­රයා පව­සයි. තඹු­ත්තේ­ගම, පහළ­ගම පිහිටි ශ්‍රී ලංකා පොලිස් විද්‍යා­ලයේ පෙරේදා (04) පැවති ආධු­නික පොලිස් කොස්තා­ප­ල්වරු සහ රිය­දු­රන් විසි­ර­යෑමේ උත්ස­වය අම­ත­මින් පොලි­ස්ප­ති­ව­රයා මේ බව සඳ­හන් කළේය. “පොලි­ස්පති ලෙස මම ආධු­නික නිල­ධා­රී­න්ගෙන් ඉතා අවංක හා කාර්ය­ක්ෂම සේවා­වක් බලා­පො­රොත්තු වෙනවා.

අද දින ඔබ විසිර යාමෙන් පසුව යොමු වන්නේ පොලී­සියේ සාමාන්‍ය ක්ෂේත්‍රයේ රාජ­කා­රි­ව­ලට හෝ පොලි­ස්ථා­න­ව­ලට. එහිදී යම් යම් උප සංස්කෘ­තීන් තිබෙ­නවා. ඒ උප සංස්කෘ­තීන් තුළ විවිධ දූෂිත ක්‍රියා අක්‍ර­මි­කතා එමෙන්ම ඉතා­මත් හොඳ අප­රාධ විස­ඳීම් දැඩි කැප­වී­මෙන් රාජ­කාරී කරන නිල­ධා­රීන්, මත්ද්‍රව්‍ය හසු­ක­ර­ගන්නා නිල­ධා­රීන් මෙන්ම මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැහි වූ නිල­ධා­රීන් ඉන්නවා” යැයිද පොලි­ස්ප­ති­ව­රයා සඳ­හන් කළේය.

“කිසිම අව­ස්ථා­වක දූෂිත හෝ අක්‍ර­මි­ක­තා­ව­ලට යොමු නොවී ඉතා වෙහෙස මහන්සි වී දැඩි කැප­වී­ම­කින් යුතුව රාජ­කාරි කරන නිල­ධා­රීන් පිරි­සක් ශ්‍රී ලංකා පොලී­සියේ සිටි­නවා. ඔබ විසින් අනු­ග­ම­නය කළ යුත්තේ මෙම උප සංස්කෘ­තියේ ඉතා හොඳින් හා කැප­වී­මෙන් යුතු පිරි­සයි.

ක්ෂේත්‍ර රාජ­කා­රීයේ දී මා විසින් සිදු­කළ අධ්‍ය­යන­ය­කදී පොලිස් නිල­ධා­රීන්ගේ වෘත්තීය ජීවි­තය විනාශ කර­ගන්නා ප්‍රධාන කරුණු කිහි­ප­යක් හඳු­නා­ගනු ලැබුවා.

මුද­ල්ව­ලට හෝ අල්ල­සට හෝ දූෂ­ණ­යට යොමු­වීම, බීම­ත්කම හෝ මත්ද්‍රව්‍ය භාවි­තය, අනිසි හැසි­රීම, ජංගම දුර­ක­ත­න­යට ඇබ්බැහි වීම, මාර්ග­ගත සූදූව මේවා පොලී­සියේ පම­ණක් නොව අනෙ­කුත් ක්ෂේත්‍ර­ව­ලට ද පොදුවේ බලපා ඇති තත්ව­යක් පෙනෙ­න්නට තිය­නවා” යැයිද පොලි­ස්ප­ති­ව­රයා පැව­සීය.

මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ අමාත්‍ය ආනන්ද විජේ­පාල මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සහ එම අමා­ත්‍යාං­ශයේ ලේකම් විශ්‍රා­මික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති රවී සෙන­වි­රත්න මහ­තාගේ සහ පොලී­සියේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීන් රැස­කගේ සහ­භා­ගි­ත්ව­යෙන් මෙම විසි­ර­යාමේ උත්ස­වය පැවැ­ත්විණි.

ආධු­නික පොලිස් කොස්තා­ප­ල්වරු 241 දෙ‍ෙනක් සහ ආධු­නික පොලිස් කොස්තා­පල් රිය­දු­රන් 74 දෙනෙක් මෙහිදී විසිර ගියේය.

පාරින්ද්‍යා ගුණ­දාස