නව වසරේ පළමු දින හතරට දිවයින පුරා ඩෙංගු රෝගීන් 1019 දෙනෙක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවැසීය.
මේ සතියේ ක්‍රියාත්මක කෙරෙන ඩෙංගු මර්දන තෙදින ජාතික වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඊයේ (05) පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේ දී ඒ මහතා මේ බව සඳහන් කළේය.
2025 වසරේ දිවයින පුරා ඩෙංගු රෝගීන් 51438 දෙනෙක් වාර්තා වූ බවත් ඒ අනුව නවතම දත්තවලට අනුව බස්නාහිර පළාතේ රෝගීන් 561ක්, දකුණු පළාතේ 135ක්, මධ්‍යම පළාතෙන් 85ක් සබරගමුව පළාතෙන් 69 ක් උතුරු පළාතෙන් 42 ක් සහ නැඟෙනහිර පළාතෙන් 48ක් වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වූ බවත් හෙතෙම කීවේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
දැනට වැඩිම ඩෙංගු අවදානමක් පවතින්නේ බස්නාහිර පළාතේ. කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම රෝගීන් ගණනක් වාර්තා කරමින් රෝගීන් 252 දෙනෙක් වාර්තා වෙනවා. එය සමස්තයක් ලෙස ගත් විට 24% ක් පමණ වෙනවා. කොළඹ නගර සභා සීමාව තුළ පමණක් රෝගීන් 73ක් වාර්තා වෙනවා. ගම්පහ, නුවර, ගාල්ල, රත්නපුර, යාපනය කියන නගරවලත් වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වෙනවා.
නිරතදිග මෝසම් සුළං සහ ඊසානදිග මෝසම් සුළං සමයේ ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙනවා. ජනවාරි පෙබරවාරි මාසවල වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙම තත්වය තුළත් ඩෙංගු වැඩිවීමේ අවදානමක් තිබෙනවා. ආපදා තත්වයත් සමඟ විශාල වශයෙන් කසළ පරිසරයට මුදා හැරුණා. ඩෙංගු සහ චිකන් ගුන්යා රෝගයට අදාළ මදුරු විශේෂය වැඩිවශයෙන් බෝවෙන්නේ එම කසළවල පවතින හිස් බඳුන් තුළයි.
නෙරංජලා වික්‍රමසිංහ








