අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවට අනතුරු ඇඟවීමක්

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන අනාවැකි සහ නිවේදන පිළිබඳව ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් පසුවන ලෙසට ඉල්ලා සිටින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැකි අතර, දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

බේරුවෙල සිට කොළඹ, පුත්තලම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවන අතර, දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකි බවද දැක්වෙනවා.

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5  – 3.0 ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.