වෙනිසියුලාවට එල්ලවූ අමෙරිකානු ප්‍රහාරවලින් පසුව එරටට නොමිලේ අන්තර්ජාල සේවාවන් සැපයීමට ඊලෝන් මස්ක්ගේ Starlink පියවර ගෙන තිබේ.
X සටහනක් තබමින් Starlink සඳහන් කර ඇත්තේ සේවාවන් සඳහා වෙනිසියුලානු ජනතාවට නොමිලේ ප්‍රවේශය ලබා දීමට පියවර ගන්නා බවය.
වෙනිසියුලාවේ අන්තර්ජාලයට රජයේ දැඩි රෙගුලාසි මෙන්ම රට පුරා විසන් කිරීම් සහ මන්දගාමී අන්තර්ජාල සේවාවක් සම්බන්ධව දිගු ඉතිහාසයක් පවතින පසුබිමක Starlink වෙතින් මෙම පියවර ගෙන ඇත.
මේ අතර කැරබියන් ගුවන් කලාපය වටා පනවා ඇති ගුවන් සීමාවන් ඉවත් කිරීමට පියවර ගන්නා බව එක්සත් ජනපද ප්‍රවාහන ලේකම් ෂෝන් ඩෆි නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මේ සම්බන්ධව ගුවන් සමාගම් දැනුවත් කර ඇති බවද ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහන් කර තිබේ.
ඊයේ (03) දිනයේදී වෙනිසියුලාවට එල්ල කළ මහා පරිමාණ ප්‍රහාරවලින් පසුව එක්සත් ජනපදය කැරබියන් හරහා ගුවන් අවකාශය සීමා කිරීමට කටයුතු කළ අතර මේ හේතුවෙන් එම කලාපය හරහා ගමන් කරන ගුවන් යානා ඇතුළු ගුවන් ගමන් රැසක් අවලංගු වී තිබුණි.
මේ අතර අමෙරිකාවේ ප්‍රහාර හමුවේ වෙනිසියුලාවේ පුද්ගලයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මියගිය පිරිස අතරට සිවිල් වැසියන් සහ වෙනිසියුලාවේ හමුදා සහ ආරක්ෂක සමාජිකයින්ද ඇතුළත් වන බවත් තවත් නිලධාරීන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති මුත් එම සංඛ්‍යාව කොපමණද යන්න මෙතෙක් අනාවරණය වී නැතැයිද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.








