වෙනිසියුලානු ජනාධිපති අමෙරිකානු ග්‍රහණයට ගැනීම හෙළා දකිමින් ජවිපෙන් ලිපියක්

අමෙරිකාව විසින් වෙනිසියුලාවට සිදුකළ පහරදීම් සහ එහි ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු ග්‍රහණයට නතු කර ගැනීමේ සිදුවීම සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක් වන වෙනිසියුලාවට කඩාවැදී එහි මහජන ඡන්දයෙන් පත්ව සිටි ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ පැහැරගෙන යමින් සිදුකරන ලද මෙම ක්‍රියාව සිය පක්ෂය තරයේ හෙළා දකින බවය.

ලොව ඕනෑම නිදහස්, ස්වෛරී රාජ්‍යයක මෙන්ම වෙනිසියුලාවේද අනාගතය තීරනය කිරීමේ සහ පාලකයින් කවුරුන්දැයි තීරණය කිරීමේ පරමාධිපත්‍ය බලය ඇත්තේ එරට ජනතාවට පත් එය උල්ලංඝනය කිරීමට කිසිදු බලවතෙකුට අයිතියක් නොමැති බවත් එම පක්ෂය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,

ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක් වන වෙනිසියුලාවට කඩාවැදී එහි මහජන ඡන්දයෙන් පත්ව සිටි ජනාධිපති, නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගනිමින්, එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එරෙහිව සිදු කරන ලද හමුදාමය ආක්‍රමණික මැදිහත්වීම අපි තරයේ හෙළා දකිමු.

ලොව ඕනෑම නිදහස්, ස්වෛරී රාජ්‍යයක මෙන්ම වෙනිසියුලාවේද අනාගතය තීරණය කිරීමේ සහ පාලකයන් කවුරුන් දැයි තීරණය කිරීමේ පරමාධිපත්‍ය බලය ඇත්තේ, එරට ජනතාවටය. එය උල්ලංඝනය කිරීමට කිසිදු බලවතෙකුට අයිතියක් නැත. 

නූතන සමාජයත්, රාජ්‍ය පාලනයත්, වඩාත් ශිෂ්ටසම්පන්න විය යුතු බව පොදු පිළිගැනීමය. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, රාජ්‍යයන්ගේ නිදහස සහ ස්වාධීනත්වය ලොවම පිළිගන්නා මූලධර්මයන්ය. කුමන හේතුවක් මත හෝ ඒවා උල්ලංඝනය කරමින්, රටවලට හමුදාමය මැදිහත්වීම් හෝ ආක්‍රමණ සිදු කිරීම නූතන සභ්‍ය ලෝකය තුළ සාධාරණ වන්නේ නැත. 
එවැනි තත්වයක් තුළ එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එරෙහිව සිදු කළ බලහත්කාරී හමුදාමය මැදිහත්වීම ලොව කිසිවෙකුත් අනුමත නොකරන බව අපි දැඩිව විශ්වාස කරමු.

එබැවින්, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එරෙහිව සිදු කරන ලද මෙම හමුදාමය ආක්‍රමණය හෙළා දකින ජනතා විමුක්ති පෙරමුණේ අපි වෙනිසියුලාවේ ස්වෛරී පැවැත්ම හා ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින්නෙමු.

දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ
2026.01.04