ගිය වසරේ නාවික හමුදා මෙහෙයුම්වලින් රු. මිලියන 75,000 කට අධික විෂ මත්ද්‍රව්‍ය සහ මත්පෙති නීතියේ රැහැනට

මත්ද්‍රව්‍ය උවදුරෙන් අනාගත පරපුර මුදා ගැනීම වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති ‘රටම එකට’ ජාතික මෙහෙයුම සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, දේශීය හා විදේශීය සමුද්‍රීය පාර්ශවකරුවන් සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සමඟ සහයෝගී ප්‍රවේශයකින් කටයුතු කරමින් දිවයිනේ වෙරළ ප්‍රදේශ හා මුහුදු කලාපය ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් තීව්‍ර කර ඇත.

ඒ යටතේ ගෙවීගිය 2025 වර්ෂයේදී නාවික හමුදාව සිදුකල මෙහෙයුම් මඟින් රුපියල් මිලියන 75,000 කට අධික දළ විථි වටිනාකමකින් යුත් හෙරෝයින්, අයිස්, හෂීස්, විදේශීය හා දේශීය කන්සා, මත්පෙති, විදේශීය දුම්වැටි සහ බීඩි කොළ විශාල තොගයක් සමඟ දේශීය සැකකරුවන් 376 දෙනෙකු නීතියේ රැහැනට හසුකර දීමට සමත්ව ඇතැයි නාවික හමුදාව සදහන් කරයි.

ඒ අනුව, රුපියල් මිලියන 25,206 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1050 කට අධික තොගයක් සහ රුපියල් මිලියන 47,725.00 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් අයිස් (ක්‍රිස්ටල් මෙතම්පිටමයින්) කිලෝග්‍රෑම් 2982 කට අධික තොගයක් සමඟ සැකකරුවන්169 දෙනෙකු සහ දේශිය යාත්‍රා 11ක් 2025 වර්ෂයේ දී නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමුකර ඇත.

එමෙන්ම, රුපියල් මිලියන 1297 කට අධික වීථි වටිනාකමකින් යුත් විදේශීය කංසා කිලෝග්‍රෑම් 5768 කට අධික තොගයක් සමඟ දේශීය සැකකරුවන් 73 දෙනෙකු සහ දේශිය යාත්‍රා 19ක්, රුපියල් මිලියන 19 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් දේශීය කංසා කිලෝග්‍රෑම් 257 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 11 දෙනෙකු, රුපියල් මිලියන 168 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් මත්පෙති 16,83,722 ක තොගයක් සමඟ සැකකරුවන් 16 දෙනෙකු සහ දේශීය යාත්‍රා 04ක්, රුපියල් මිලියන 100කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හසීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 33කට අධික තොගයක් සමඟ සැකකරුවන් 07 දෙනෙකු, රුපියල් මිලියන 42කට අධික දළ වීථි වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි 420385ක තොගයක් සමඟ සැකකරුවන් 36 දෙනෙකු සහ දේශීය යාත්‍රා 03ක් සහ නීති විරෝධී‍ ලෙස රටතුලට රැගෙන ඒමට උත්සහ කල රුපියල් මිලියන 470 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් බීඩි කොල කිලෝග්‍රෑම් 67200කට අධික තොගයක් සමඟ සැකකරුවන් 64 දෙනෙකු සහ දේශීය යාත්‍රා 64ක්ද නාවික හමුදාව දිවයිනම ආවරණය වන පරිදි 2025 වර්ශයේ සිදුකල මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමුකර ඇත.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව ජාතික ආරක්‍ෂාව සුරැකීම සඳහා සුවිශේෂී දායකත්වය ලබා දීමට සමඟාමීව, ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් හා මඟ පෙන්වීම මත, මත්ද්‍රව්‍ය උවදුරෙන් අනාගත පරපුර මුදා ගැනීම වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති ‘රටම එකට’ ජාතික මෙහෙයුම සඳහා ඉදිරියටත් අඛණ්ඩව දායකත්වය ලබා දෙනු ලබයි.