ගම්පහ දිස්ත්‍රික්කයේ ‘දිට්වා’ නිසා ආපදාවට පත් වූ ගොවීන් නැවත වගා කිරීම අරඹලා

ගම්පහ දිස්ත්‍රික් කෘෂිකර්ම අනුකමිටු රැස්වීම ඊයේ (02) පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.

පසුගියදා පැවති කෘෂිකර්ම අනු කමිටුවේ දී සාකච්ඡා වූ කරුණුවල ප්‍රගතිය විමසීම මෙන්ම “දිට්වා” සුළි කුණාටුවෙන් ආපදාවට පත් වූ ගොවීන්ගේ විනාශ වූ බෝග වගාවන් නැවත වගා කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර කාලගුණික තත්ත්වයන් හමුවේ මේ වන විට නැවත වගා කිරීමේ ප්‍රගතිය 25% පමණ බව ද මෙහිදී අනාවරණය විය.

එසේම ආපදාවෙන් හානියට පත් වූ වී, එළවළු,මිරිස්, අල බෝග, වැල්දොඩම්, අන්නාසි, රඹුටන් ආදී වගාවන්ට හා සත්ත්ව පාලන අංශයන්ට සිදු වූ හානි වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බවත් යම් ප්‍රමාණයක් ගෙවා ඇති බවත් මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කෙරිණි.

අනතුරුව දිස්ත්‍රික්කය තුළ වගා නොකරන ඉඩම් සුදුසු පරිදි අධ්‍යාපන කර්මාන්ත ආදී ආර්ථික කටයුතුවලට යොදා ගැනීම සඳහා විශේෂයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධව අවධානය යොමු කළ අතර එම ඉඩම් වගා කිරීම සහ අත්පත් කර ගැනීම සම්බන්ධව ඉදිරිපත් වී ඇති ගැටලු සහ විසඳුම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.

මේ අවස්ථාවට
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා,  පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හේමාලි සුජීවා වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි, ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති කමිටු සාමාජික සමන් දේවගේ, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා සන්ධ්‍යා කුමාරි, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂිකා සමන්තා සේනානායක යන මහත්ම මහත්මීන් බස්නාහිර පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කෘෂිකර්මය හා සම්බන්ධ අනෙකුත් සියලුම නිලධාරීන් හා ගොවි සංවිධානවල නියෝජිතයින් එක්ව සිටියහ.