UPDATE: නාගොඩ රෝහලේදී වෙඩි තැබීමට ලක්ව ඇත්තේ රජවත්තේ චතුවා බවට හඳුනා ගැනේ

කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ සිදු කළ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ, නාරායනගේ දිලිප් චතුරංග නොහොත් “රජවත්තේ චතුවා” නමැත්තෙක් බව පොලිසිය පවසනවා.

අදාළ පුද්ගලයා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අයෙක් බවයි සඳහන් වන්නේ.

ඔහු බන්ධනාගාරගතව සිටියදී, ඉකුත් 29 වැනිදා බන්ධනාගාර රැඳවියන් පිරිසකගේ පහර දීමකට ලක්ව රෝහල්ගත කර ඇති අතර, බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ 14 වාට්ටුවේ පාදයට මාංචු යොදා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන 6.15 ට පමණ මෙම පුද්ගලයා වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

නාඳුනන තුවක්කුකරුවකු විසින් රිවෝල්වර් වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාරය එල්ල කර, රෝහලේ තාප්පයට උඩින් පැන පලා ගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වනවා.