ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

උතුර, නැගෙනහිර, සහ ඌව පළාත්වලත්, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් අද (31) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය.

මහනුවර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවේ.

සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. 

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, හම්බන්තොට, මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.