රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නොව්ගොරොඩ් ප්‍රදේශයේ පිහිටි නිල නිවස ඉලක්ක කර ගනිමින් යුක්රේනය දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව රුසියාව පවසනවා.
රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් ප්‍රකාශ කළේ දෙසැම්බර් 28 සහ 29 යන දිනවල රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල වූ බවයි.
යුක්රේනය විසින් දුර විහිදුම් ඩ්‍රෝන යානා 91ක් පමණ මේ සඳහා යොදාගෙන තිබූ බවයි රුසියාව පවසන්නේ.
රුසියානු ගුවන් ආරක්ෂක පද්ධති මගින් එම සියලුම ඩ්‍රෝන යානා විනාශ කළ බවත්, ඉන් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් සිදුව නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ නමුත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නිල නිවස ඉලක්ක කර ගනිමින් යුක්රේනය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට මොස්කව් පාලනය එල්ල කරන චෝදනා යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.
රුසියාව මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරුවන්නේ දැනට ක්‍රියාත්මක සාම උත්සාහයන් අඩපණ කිරීමට සහ යුක්රේනයට එරෙහිව තවදුරටත් මිලිටරි ප්‍රහාර සාධාරණීකරණය කිරීමට බවයි ඔහු පවසන්නේ.
රුසියාවේ මෙම චෝදනාව සම්බන්ධයෙන් ස්වාධීන තහවුරු කිරීමක් මෙතෙක් සිදුව නොමැති අතර ප්‍රහාරය පිළිබඳ කිසිදු පොදු සාක්ෂියක් රුසියාව ඉදිරිපත් කර නැහැ
විචාරකයින් පවසන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාම වැඩපිළිවෙලක් පිළිබඳව සාකච්ඡා පැවැත්වෙන තීරණාත්මක මොහොතක මෙම චෝදනා එල්ල වීම විශේෂත්වයක් බවයි.








