දිට්වා සුළි කුණාටුවෙන් වූ හානියට අදාළව ප්‍රතිසංස්කරණ වියදම් පිළිබඳ නිල ඇස්තමේන්තුවක් සකසා ගැනීමට නොහැකිවීම නිසා ලෝක ආධාර සමුළුවට දින යොදා ගැනීමට ආණ්ඩුව අපොහොසත්ව ඇතැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.
කොළඹ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගම්මන්පිල මහතා එසේ කියා සිටියේය.
එහිදි වැඩිදුරටත් ඒ මහතා මෙසේ ද පැවසීය. ව්‍යවස්ථා සභාවේ සිටින සිවිල් සමාජ නියෝජිතයන් තුන් දෙනාගේ තුන් අවුරුදු නිල කාලය ලබන සතියේ අවසන් වෙනවා. 2025 ජූලි 14 වැනි දින අපි මාධ්‍ය හමුවක් පවත්වා විගණකාධිපතිවරයකු පත් නොකර කල් මරන්නේ ජනවාරි මාසය උදා වන තුරු බව හෙළිදරවු කළා. ඉදිරියේදී ව්‍යවස්ථා සභාවට පත් කරන නියෝජිතයන් ස්වාධීනව කටයුතු කරාවි කියා බලාපොරොත්තු වෙන්න අමාරුයි.
විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර, මහාචාර්ය දිනූෂා සමරනායක සහ ආචාර්ය ප්‍රතාබ් රාමනුජන් කියන වත්මන් සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පසුගිය වසර තුනේ ව්‍යවස්ථා සභාවේ ස්වාධීනත්වය රැක්කා. වත්මන් ආණ්ඩුවේ විතරක් නොවේ තමන් පත් කළ පසුගිය ආණ්ඩුවේ පවා අවස්ථා ගණනාවක දී තමන්ට එකඟ වෙන්න බැරි නිර්දේශ ප්‍රතික්ෂේප කරන්න මේ නියෝජිතයන් තුන්දෙනාට කොන්ද තිබුණා. ඔවුන් තනතුරින් සමුගන්නා මොහොතේ ඔවුන්ගේ ස්වාධීනත්වයට ජාතියේ ප්‍රණාමය පුද කළ යුතුයි. මේ තිදෙනා අගමැති සහ විපක්ෂ නායක එකඟතාවෙන් පත් කළ යුතුයි කියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණත් දෙදෙනාම එකඟ වෙන තුන්දෙනෙකු සොයා ගැනීම දුෂ්කර වී තිබෙනවා.
ඒ නිසා අවසානයේ දී සිදු වුණේ අගමැති එක් අයෙකුත් විපක්ෂ නායක එක් අයෙකුත් නම් කර එක් අයෙක් විතරක් දෙදෙනාගේම එකඟත්වයෙන් නම් කිරීමයි. දිට්වා කුණාටුව විසින් ශ්‍රී ලංකාවට කර තිබෙන විනාශය පිළිබඳ දැනට එකිනෙකට වෙනස් ඇස්තමේන්තු තුනක් ඉදිරිපත් වෙලා තිබෙනවා. පළමු ඇස්තමේන්තුව ඉදිරිපත් කළේ අත්‍යවශ්‍ය සේවා මහකොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතායි.
දිට්වා කුණාටුවෙන් සතියක් ඇතුළත ඔහු ප්‍රකාශ කළ දළ ඇස්තමේන්තුවට අනුව ප්‍රතිසංස්කරණ වියදම ඩොලර් බිලියන 6ක් සහ 7ක් අතර ගණනක්. අපි ඩොලර් බිලියන 6.5ක් කියමු. ඊට පස්සේ විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරමින් ලෝක බැංකුව කිවුවේ විනාශයේ වටිනාකම ඩොලර් බිලියන 4.1ක් කියලා. ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඉදිරිපත් කළ වාර්තාවට අනුව ආර්ථික හානිය ඩොලර් බිලියන 16ක්.
ඒක දැවැන්ත මුදලක්. ප්‍රතිසංස්කරණ වියදම, විනාශයේ වටිනාකම සහ ආර්ථික හානිය එකිනෙකට වෙනස් සංකල්ප තුනක්. ආණ්ඩුව තමන්ගේ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම අතිශයින්ම වටිනවා. දිට්වා අවසන් වී දෙවන මාසය ගත කරද්දිත් තවම ලෝක ආධාර සමුළුවට දින යොදා ගැනීමට ආණ්ඩුව කල් මරන්නේ නිල ඇස්තමේන්තුව හදා ගන්න බැරිවීම නිසයි.
රන්මලී සෝමසිරි








