විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට

රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ නවීනතම ජංගම දුරකථන තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනෙකු ඊයේ (28)පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ( Green Channel )ඔස්සේ පිට වී යාමට තැත් කරමින් සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් 22 හැවිරිදි සහ 23 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ජාතික ව්‍යාපාරික තරුණයන් දෙදෙනෙකි .

ඔවුන් අද පස්වරු 06.00 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එහිදී ඔවුන් රැගෙන ආ ගමන් මලු 06 ක් තුළ විදේශීය නිෂ්පාදිත  “මැන්චෙස්ටර් ” සහ ” ප්ලැටිනම්” වර්ගයේ දුම්වැටි 84,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 420 ක් සහ “ඇපල්” වර්ගයේ නවීනතම ජංගම දුරකථන 25 ක් ද සගවා ගෙන සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .

ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .