මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට එල්ල වූ බෝම්බ තර්ජනය මහජන කලබලයක් ඇති කිරීම සඳහා හිතාමතා සිදුකළ අසත්‍ය ප්‍රචාරයක් (Hoax) බව පොලිසිය තහවුරු කරනවා.
පෙරේදා (26) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලැබුණු නිර්නාමික විද්‍යුත් තැපැල් (E-mail) පණිවිඩයක් මගින් කියැවුණේ කාර්යාල පරිශ්‍රයේ ස්ථාන 5ක පුපුරණ ද්‍රව්‍ය අටවා ඇති බවයි.
තොරතුර ලැබීමත් සමග මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියමයෙන් දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කෙරුණා.
මහනුවර පොලිසිය, පොලිස් නිල සුනඛ ඒකකය, විශේෂ කාර්ය බලකායේ (STF) බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය මෙම මෙහෙයුමට එක් වුණා.
එදින උදෑසන සිට සවස දක්වා සිදු කළ දැඩි පරීක්ෂාවලදී සැකකටයුතු කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හෝ උපකරණයක් හමු නොවූ බවයි පොලිසිය නිවේදනය කළේ.
මෙම ව්‍යාජ තර්ජනය පිටුපස සිටින පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
විද්‍යුත් තැපැල් පණිවිඩය එවූ මූලාශ්‍රය සොයා ගැනීම සඳහා පරිගණක අපරාධ විමර්ශන අංශය (CCID) වෙත පරීක්ෂණ පවරා ඇති බව සඳහන්.
මහජන කලබලයක් ඇති කිරීමේ චේතනාවෙන් මෙම ක්‍රියාව සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක කරන්නේ.
මේ වන විට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කටයුතු යථා තත්ත්වයට පත්ව ඇති අතර, ආරක්ෂාව සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසයි බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.








