කටුනායකට පැමිණි ගුවන් යානයක බෝම්බ බියක්

කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (28) උදෑසන දෝහා සිට පැමිණෙමින් තිබූ කටාර් ගුවන් සේවයේ ගුවන් යානය තුළ බෝම්බ ඇති බවට ගුවන් තොටුපොළ කළමනාකරු වෙත ලද විද්‍යුත් තැපැල් පණිවිඩය අනුව එම ගුවන් යානය විශේෂ සෝදිසි කිරීමකට ලක් කළ අතර , එහිදී එවැනි කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානය අද දින උදෑසන 08.27 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණ තිබේ .

බෝයිං 787 ඩ්‍රීම් ලයිනර් වර්ගයේ මෙම ගුවන් යානය තුළ මගීන් 245 ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 12 දෙනෙකු සිට තිබේ .

මෙම ගුවන් යානය ගොඩබැස්සවීමට පෙර කටුනායක ගුවන් තොටුපොළ කළමනාකරු වෙත ලද විද්‍යුත් තැපැල් ලිපියක් මගින් මෙම ගුවන් යානය තුළ බෝම්බ ඇති බවට දැනුම් දීමක් සිදු කර තිබුණි .

ඒ අනුව මෙම ගුවන් යානය අද දින උදෑසන 08.27 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ ගොඩබස්වා , ගුවන් යානය නයිකන්ද ප්‍රදේශයේ ඇති ආරක්ෂිත ගුවන් අංගයනය  ( Issolated Parking Bay ) වෙත රැගෙන ගොස් , එහි සිටි සියලුම ගුවන් මගීන් සහ කාර්යය මණ්ඩලය පිටතට බස්සවා , ගුවන් තොටුපොළ බෝම්බ නිශ්ක්‍රිය අංශ වල නිලධාරීන් සහ පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම සදහා විශේෂයෙන් පුහුණු කරන ලද සුනඛයන් යොදවා , මුළු ගුවන් යානයම දැඩි සෝදිසි කිරීමකට ලක් කර තිබේ .

එහිදී එම ගුවන් යානය තුළ එවැනි කිසිවක් ඔවුන්ට සොයා ගැනීමට නොහැකි වූ අතර , පසුව මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ සාමාන්‍ය ගුවන් අංගයනය වෙත රැගෙන විත් තිබේ .

එම ගුවන් යානය යළිත් ආපසු අද දින උදෑසන 10.15 ට කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතව තිබුණද , මෙම සෝදිසි කිරීම් මෙහෙයුම නිසා මදක් ප්‍රමාද වී දහවල් 01.07 ට දෝහා බලා පිටත්ව ගොස් තිබේ .