ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය නිකුත් වෙයි: ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ සුළං

එළඹෙන පැය 36 ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි සහ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (28) පස්වරු 04.00 ට නිකුත් කළ නිවේදනයක සඳහන්.

ඒ අනුව, ඌව පළාත මෙන්ම අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම, සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, උතුරු පළාත, මහනුවර, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාවක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා.

තවද, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට, මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40 ක පමණ තද සුළං ඇතිවිය හැකි බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.