මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝම්බ සිද්ධිය ගැන පරිගණක අපරාධ විමර්ශන අංශයෙන් විමර්ශනයක්

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුර යම්කිසි මහජන කැළඹීමක් ඇති කිරීමට ගත් උත්සාහයක් බවට පොලිසිය සැක කරනවා.

මෙම තොරතුර සම්බන්ධව පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාන 05 ක බෝම්බ සඟවා ඇති බවට මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිල විද්‍යුත් තැපැල් ලිපිනයට ඊමේල් පණිවිඩයක් ලැබී තිබුණු අතර, මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ සම්බන්ධව සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණා.

ඒ සඳහා පොලිස් නිල සුනඛ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය හා යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය ද කැඳවා පොලීසිය විසින් සෝදිසි මෙහෙයුමක් සිදුකළ අතර, කෙසේ වෙතත් එම සෝදිසි මෙහෙයුමේදී කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හමුවී නොමැති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.