නායයාම් හේතුවෙන් අවහිර වී තිබූ කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් විවෘත කරනු ලැබූවේ ඒ සඳහා තාවකාලික විසඳුමක් ලබාදීමෙන් අනතුරුව බව ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය පවසයි.
කෙසේ වෙතත් වර්ෂා කාලයේ දී මෙම මාර්ගයේ ගමන් කිරීමේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබා දෙන නිවේදන සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ද එහි අධ්යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
කඩුගන්නාව පහළ ප්‍රදේශයේ නායයාමෙන් මාර්ගයට සිදු වූ හානිය අවම කිරීමට ඉංජිනේරු ක්‍රමවේදයන් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය මූලික පරීක්ෂණයන් මේ වන විට සිදු කරමින් පවතින බවද ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම ඔහු පැවසුවේ ද්‍රෝණ තාක්ෂණය භාවිතයෙන් එම අවදානම් ප්‍රදේශ හඳුනා ගෙන ඇති බවත්, එයට අදාළ දත්ත ලබා ගැනීම සඳහා මේ වන විට මැනුම් කටයුතු සිදු කරමින් පවතින බවත් ය.
ගොඩනැගිලි පර්යේෂන ආයතනයේ නිලධාරීන් පිරිසක් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් විසින් අද (27) පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ඇතිවූ තත්ත්වය පිළිබද නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා,
”මූලික වශයෙන් බලාපොරොත්තු වෙනවා අස්ථාවර ගල් කුට්ටි ඉවත් කිරීමටත්, මව් පාෂාණයේ උඩින් තියෙන පස් තට්ටුව පහළට ගලාඒම සඳහා අවශ්‍ය ක්‍රමවේද සකස් කිරීමටත්, මාර්ගයේ පහළ ප්‍රදේශයේ අස්ථාවරතා වෙලා තියෙනවා එම ප්‍රදේශයට පැති බැමි ඉදි කරලා සංරක්ෂණය කරන්නත්.. මේ දේවල් කඩිනම් කරලා මාර්ගයේ ගමන් කරන ජනතාවට ස්ථීර විසඳුමක් ලබා දෙන්න සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කටයුතු කරනවා”








