ආපදා තත්ත්වය හේතුවෙන් මෙරටට ඉන්දියාවෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්(IMF) ලැබී ඇත්තේ ණය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගෙන ඇත්තේ 8%ක ඉහළ වාණිජ පොළියකට බවත් එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජික හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රකාශ කරනවා.
ඉන්දියාව ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 450න් 350ක්ම ණය බවත් ප්‍රදානයක් වශයෙන් ලබා දී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මුදලක් පමණක් බවත් රාජිත සේනාරත්න පෙන්වා දෙනවා.
මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 206 ක් මෙරට ලබාදී ඇත්තේ 8%ක ඉහළ වාණිජ පොළියකට බවද හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.
මෙවැනි අවස්ථාවල දී ණය ලබා ගත යුත්තේ 1%ක හෝ 2% කත් අතර අඩු පොළී අනුපාතිකයකට විය යුතු බවත් මේ ආකාරයට ඉහළ පොළී අනුපාතිකයකට ණය ලබා ගැනීම තුළින් ඇතිවන්නේ ආර්ථික අර්බුදයක් ඇතිවීම බවද රජිත සේනාරත්න පෙන්වා දෙනවා.
දැනට ලබාගන්නා මෙම ණයට අමතරව තවත් ණය විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාව ගෙවිය යුතු බවත් එම නිසා පැරණි ණය සහ අලුත් ණය කළමනාකරණය කිරීම සඳහා මීට වඩා දැඩි අවධානයක් ආණ්ඩුව යොමු කළ යුතු බවද හෙතෙම ප්‍රකාශ කරනවා.
ආපදාවෙන් විපතට පත් ජනතාවට සහනාධාර බෙදාදීම සහ රට ගොඩනැංවීමේ කටයුතුවල බරපතල අඩුපාඩු තිබෙන බවට බොහෝ චෝදනා එල්ල වන නිසා මේ සම්බන්ධයෙන් ආණ්ඩුව අවධානය යොමු කළ යුතු බවද ඔහු ප්‍රකාශ කරනවා.
IMF සමග ආර්ථිකය කළමනාකරණය කිරීම ප්‍රායෝගිකව සිදුකරමින් රට ස්ථාවර කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දක්ෂ ලෙස ක්‍රියා කළ බවත් එවැනි කළමනාකරණ හැකියාවක් වර්තමාන ආණ්ඩුවට නොමැති බවත් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරනවා.
විශේෂයෙන්ම ආර්ථික අර්බුදය පැවැති අවස්ථාවේදී රුපියල් 390කට වඩා ඉහළ ගිය ඇමෙරිකානු ඩොලරයක අගය රුපියල් 293 දක්වා පහත බැස්සවීමට රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සමත් වූ බවත් ඔහු එය රුපියල් 250 දක්වා අඩුකිරීමට සැලසුම් කර තිබුණු අවස්ථාවේදී 2024 සැප්තෑම්බර් මාසයේදී රටේ පාලන බලය වෙනස්වූ බවද හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
කොරෝනා ලෝක වසංගතයට හා ලෝක ආර්ථික අර්බුදයට ලක් වූ කිසිදු රටක් වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළදී ස්ථාවර කිරීමට නොහැකි වූ බවත් ශ්‍රී ලංකාව වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළදී ස්ථාවර කිරීමට හැකි වීම ගැන ඇමරිකාවේ සෙනට් සභාවේ ආර්ථික විශේෂඥයෙකු වන ඩොනල්ඩ් ලූ පවා මවිතයට පත් වූ බවද රජිත සේනාරත්න වැඩිදුරටත් සඳහන් කරනවා.








