අම්බලන්ගොඩ වෙළෙඳ ආයතනයක කළමනාකරුට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට

අම්බලන්ගොඩ වෙළෙඳ ආයතනයක කළමනාකරු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ද, සිව්දෙනෙකු ගාල්ල අපරාධ අංශය විසින් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මෙම වැටලීම්වලදී පිස්තෝලයක් සහ රිවෝල්වරයක් ද සොයාගෙන තිබෙනවා.

පසුගිය 22 වැනිදා යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් සිදුකළ මෙම වෙඩි තැබීමෙන් අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.

අපරාධ කල්ලි දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සැක කරන අතර, වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ තැනැත්තා ද අපරාධ කල්ලි සාමාජිකයින් සමග සම්බන්ධතා පැවැත්වූ අයෙකු බවට පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.