අඛණ්ඩව වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන ආ පරිදිම වසර 2024දී අප රටේ ජාතික ආර්ථික දියුණුවට ඉහළම දායකත්වය ලබාදුන් පළාත ලෙස බස්නාහිර පළාත පත්වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.ඒ අනුව වසර 2024 සමස්ත ආර්ථික දියුණුවට බස්නාහිර පළාතෙන් ලබා දී ඇති දායකත්වය සියයට 42.4ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
වසර 2024දී ජාතික ආර්ථික දියුණුවට අනුපිළිවෙළින් වයඹ (සියයට 11.5) සහ මධ්‍යම (සියයට 10.7) පළාත් විසින් දෙවෙනි සහ තෙවෙනි ලෙසට දායකත්වය ලබා දී ඇත.
කෙසේ නමුත් වසර 2023ට සාපේක්ෂව අනෙකුත් සෑම පළාතක්ම ජාතික ආර්ථිකත්වයට වසර 2024 දී ලබාදෙන දායකත්වය ඉහළ නංවාගෙන ඇත. එය පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා මහ බැංකුව මෙසේද කියා සිටී.
වසර 2024 දී ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 29899කි. එය වසර 2023දී වාර්තා වී තිබෙනුයේ රුපියල් බිලියන 27419කි. ඒ අනුව වසර 2023ට වඩා වසර 2024දී රුපියල් බිලියන 2480කින් දළ දේශීය නිෂ්පාදිතය වැඩිවී ඇත.
බස්නාහිර පළාතේ මෙම ඉහළ දායකත්වය විශේෂයෙන්ම සේවා සහ කර්මාන්ත අංශ තුළ කැපී පෙනුණි. මේ අතර, සමස්ත ද.දේ.නි. සඳහා දෙවන සහ තෙවන ඉහළම දායකත්ව අනුපිළිවෙළින් වයඹ (සියයට 11.5) සහ මධ්‍යම (සියයට 10.7) පළාත් විසින් ලබා දී ඇත.
මධ්‍යම, නැඟෙනහිර, වයඹ, සබරගමුව සහ ඌව යන පළාත්වලින් නාමික දළ දේශීය නිෂ්පාදිතයට ලබාදුන් දායකත්වය (2023) ට සාපේක්ෂව 2024 දී ඉහළ ගියේය. ආර්ථික කටයුතු සඳහා පළාත් මඟින් දායකත්වය කෘෂිකාර්මික කටයුතු සඳහා වන ඉහළම දායකත්වය මෙම වසරේ දී ද වයඹ පළාත (සියයට 20.0) මඟින් ලබා දී ඇති අතර, මධ්‍යම (සියයට 13.9) සහ දකුණු (සියයට 11.8) පළාත් පිළිවෙළින් දෙවන සහ තෙවන ඉහළම දායකත්ව ලබා දී ඇත.
වසර 2024 දී කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහා ප්රමුඛ දායකත්වය තවදුරටත් තහවුරු කළ බස්නාහිර පළාත සමස්ත කර්මාන්ත නිමැවුමෙන් සියයට 47.6ක ප්‍රමාණයක් සඳහා දායක විය. එසේම, වයඹ (සියයට 12.0) සහ මධ්‍යම (සියයට 9.6) පළාත් සමස්ත කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහා ඊළඟ ඉහළම දායකත්ව වාර්තා කර ඇත.
සේවා අංශයේ ක්‍රියාකාරිත්වය සලකන විට, බස්නාහිර පළාත සිය ප්‍රමුඛතාව 2024 වසරේ දී ද පවත්වා ගනිමින් සියයට 44.5ක දායකත්වයක් වාර්තා කර ඇති අතර, මධ්‍යම පළාත සියයට 10.7ක සහ වයඹ පළාත සියයට 10.1ක මීළඟ ඉහළ දායකත්ව පිළිවෙළින් වාර්තා කර ඇතැයි මහ බැංකුව කියයි.
ජයසිරි මුණසිංහ








