දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් අපවිත්‍ර වූ නිවාස පිරිසුදු කර ගැනීම සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 25,000 සහ ගෘහ උපකරණ මිල දී ගැනීමට දෙන රුපියල් 50,000ක දීමනාව මෙම 31 දිනට පෙර ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් ලබා දුන්නේය.
ජනාධිපතිවරයා එම උපදෙස් ලබා දුන්නේ ‘Rebuilding Sri Lanka’ යටතේ ජන ජීවිතය නැවත ගොඩනැඟීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් සැලසුම් කෙරෙන වැඩපිළිවෙළ සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවකට පෙරේදා (30) එක්වෙමිනි.
එමෙන්ම අධි අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව කඩිනමින් එම ස්ථානවලින් ඉවත් කර සුරක්ෂිත ස්ථානවල පදිංචි කිරීමේ අවශ්‍යතාව, පාසල් දරුවන් වෙනුවෙන් රජයෙන් ලබා දෙන රුපියල් 15,000ක දීමනාව කඩිනමින් ලබාදී අවසන් කිරීමේ වැඩසටහන්හි ප්‍රගතියද මෙහිදී සාකච්ඡාවට ලක්විය.
එහි දී නිවාස සහ වගා හානි සඳහා වන්දි ගෙවීම්, දිවයින පුරා පවත්වාගෙන යන සුරක්ෂිත මධ්‍යස්ථානවල කටයුතු, ජනතාව නැවත පදිංචි කිරීම, ජීවනෝපායමාර්ග යළි ගොඩනැඟීම සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වැඩපිළිවෙළ සහ එහි ප්‍රගතිය පිළිබඳ සවිස්තරාත්මකව විමසා බලන ලදී.
වන්දි ලබා දීමේ ක්‍රියාදාමයේදී මතුව ඇති ගැටලු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, එම කටයුතු කාර්යක්ෂම කිරීම සහ කිසිවෙක් අත්නොහැරෙන පරිදි වන්දි හිමි විය යුතු සියලුදෙනාටම එම ප්‍රතිලාභය ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.
එමෙන්ම හානි වූ සත්ත්ව ගොවිපොළ සඳහා වන්දි ලබා දෙමින් එම ජනතාවගේ ජීවනෝපායමාර්ග යළි ආරම්භ කිරීම, ආපදාවෙන් හානි වූ කුඩා වෙළෙඳ ව්‍යාපාර යළි ආරම්භ කිරීමට සහාය වීම, ධීවර කර්මාන්තය යථාවත් කිරීම සහ පාසල් දරුවන් වෙනුවෙන් රජයෙන් ලබා දෙන රුපියල් 15,000ක දීමනාව කඩිනමින් ලබාදී අවසන් කිරීමේ වැඩසටහන්හි ප්‍රගතියද සාකච්ඡා කෙරිණි.
විනාශ වූ ගුවන් ගමන් බලපත්‍ර සහ හැඳුනුම්පත් නැවත ලබා දීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳ ද ජනාධිපතිවරයා මෙහි දී විමසා සිටියේය.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන ඇමැති චන්දන අබේරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික)සම්පත් තුයියකොන්තා, ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
උපාලි කරුණාරත්න








