සුභාෂිණී සේනානායක, සී ගමගේ – සොරණාතොට සමූහ, ඌව පළාත් සමූහ ප්‍රසන්න පත්මසිරි, ත්‍රිකුණාමලය විශේෂ
‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් හානි වූ දුම්රිය මාර්ග රැසක් මේ වනවිට අලුත්වැඩියා කිරීමට හැකි වීම නිසා දුම්රිය ධාවන කටයුතු නැවත ඇරඹීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව යාල්රාණි, උඩරට මැණිකේ, පොඩි මැණිකේ දුම්රියන් මෙසේ අතරමැදි දුම්රිය ස්ථානවල සිට ධාවන කටයුතු ආරම්භ කෙරිණි.
කන්කසන්තුරය සහ අනුරාධපුරය අතර දුම්රිය ධාවන කටයුතු අද (22) සිට නැවත ආරම්භ කරමින් යාල්රාණි දුම්රිය අද සිට ධාවනය කෙරේ.
එමෙන්ම ආපදාව හේතුෙවන් ඇනහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු දින 23 කට පසු පෙරේදා (20) යළි ආරම්භ කෙරිණි. ඒ අනුව බදුල්ල සිට අඹේවෙල දක්වා උඩරට මැණිකේ දුම්රිය ගමනාගමන කටයුතු ඇරැඹි අතර සවස බදුල්ල සිට අඹේවෙල දක්වා පොඩි මැණිකේ දුම්රිය ධාවනය කෙරිණි.
බදුල්ල දුම්රිය ස්ථානයේදී සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව උඩරට මැණිකේ දුම්රිය ගමන් ආරම්භ වූ අතර හාලිඇල, උඩුවර, දෙමෝදර, ඇල්ල, බණ්ඩාරවෙල, දියතලාව, හපුතලේ, ඉදල්ගස්හින්න සහ අඹේවෙල දුම්රිය ස්ථානවල පිළිගැනීමේ උත්සවද පැවැත්විණි.
මේ අවස්ථාවට ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්න, සංචාරක නියෝජ්‍ය ඇමැති රුවන් රණසිංහ මහත්වරු මෙන්ම සංචාරකයන් පිරිසක්ද එක්ව සිටියහ.
මේ අතර නැඟෙනහිර දුම්රිය මාර්ගයේ හානි වූ ස්ථාන අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව කොළඹ කොටුව හා ත්‍රිකුණාමලය අතර ධාවන කටයුතුද පෙරේදා (20) ආරම්භ විය. ඒ අනුව දින 23 කට පසුව කොළඹ කොටුව සිට උදෑසන 6ට ත්‍රිකුණාමලය බලා පළමු දුම්රිය ගමන් ආරම්භ කළ අතර ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වාද උදෑසන 7 ට දුම්රියක් ගමන් ධාවනයේ යෙදවිණි. මෙතෙක් මේ දුම්රිය ගල්ඔය දක්වා පමණක් ධාවනය විය.
අනුරාධපුර, කොළඹ කොටුව හා මාතර දුම්රිය මාර්ගය අලුත්වැඩියා කටයුතු සිදු කරන බැවින් එහි ධාවනය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුම් දෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
සුභාෂිණී සේනානායක,
සී. ගමගේ – සොරණාතොට සමූහ,
ඌව පළාත් සමූහ ප්‍රසන්න පත්මසිරි








