මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ යාත්‍රා නිරීක්ෂණ පද්ධතියට ජාවාරම්කරුවන් ඇතුළු වීම සම්බන්ධයෙන් විමර්ශනයක්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මත්ද්‍රව්‍ය තොග ප්‍රවාහනය කරන බහුදින ධීවර යාත්‍රා සහ බෝට්ටු සම්බන්ධයෙන් නිරීක්ෂණ කරන VMS පරීක්ෂා පද්ධතියට පිටස්තර පුද්ගලයන් ඇතුළු වීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මත්ද්‍රව්‍ය තොග රැගත් බහුදින ධීවර යාත්‍රා සහ බෝට්ටු සම්බන්ධයෙන් නිරීක්ෂණය කරනු ලබන මෙම VMS පරීක්ෂාව හරහා පසුගිය කාලයේ මත්ද්‍රව්‍ය ගෙන ආ විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබුණා.

මෙම පද්ධතියේ තොරතුරු විමර්ශන නිලධාරීන්ට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට ද පත්වී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ විවිධ වර්ගයේ IP ලිපින 57 ක් හරහා ජාවාරම්කරුවන්ට සම්බන්ධ පුද්ගලයන් මෙම පද්ධතියට ඇතුළු වී තොරතුරු ලබාගෙන ඇති බවයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරුන් පස් දෙනෙකු ද වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති අතර, ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් සබඳතා පවත්වන බවට ලද තොරතුරුවලට අනුව මෙම පියවර ගෙන තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන සිදු කරනවා.