‘Rebuilding Sri Lanka’ යටතේ ජන ජීවිතය නැවත ගොඩනැගීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් සැලසුම් කෙරෙන වැඩපිළිවෙළ සහ එහිදි මතුව ඇති ගැටලු පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.
ඒ අනුව මෙම සාකච්ඡාව ආරක්ෂක, කෘෂිකර්ම, වාරිමාර්ග, ජල සම්පාදන, ධීවර, ප්‍රවාහන, නිවාස සහ ඉදිකිරීම් ආදී විෂයයන්ට අයත් අමාත්‍යාංශවල ලේකම්වරුන්, අදාළ ආයතනවල ප්‍රධානීන් සහ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් පවත්වා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
නිවාස පිරිසිදු කර ගැනීම සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 25,000 සහ ගෘහ උපකරණ මිලදී ගැනීමට ලබා දෙන රුපියල් 50,000ක දීමනාව මෙම දෙසැම්බර් 31 දිනට පෙර ලබා දීමට කටයුතු කරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා උපදෙස්දී තිබෙනවා.
නිවාස සහ වගා හානි සඳහා වන්දි ගෙවීම්, දිවයින පුරා පවත්වාගෙන යන සුරක්ෂිත මධ්‍යස්ථානවල කටයුතු, ජනතාව නැවත පදිංචි කිරීම, ජීවනෝපායමාර්ග යළි ගොඩනැගීම සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වැඩපිළිවෙළ සහ එහි ප්‍රගතිය පිළිබඳවද මෙහිදී සවිස්තරාත්මකව විමසා බලා තිබෙනවා.
එමෙන්ම වන්දි ලබා දීමේ ක්‍රියාදාමයේදී මතුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමුකර ඇති අතර, එම කටයුතු කාර්යක්ෂම කිරීම සහ කිසිවෙක් අත්නොහැරෙන පරිදි වන්දි හිමිවිය යුතු සියලුදෙනාටම එම ප්‍රතිලාභය ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.









