රටක් ලෙස ඉදිරියට යා හැක්කේ කිසිදු අභියෝගයක් හමුවේ නොසැළි තිර අදිටනින් තම වගකීම් ඉටු කිරීමෙන් පමණයි – ජනපති

රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එකිනෙකාට එරෙහිව සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොව, කිසිදු අභියෝගයක් හමුවේ නොසැළි, තිර අදිටනින් සහ එකම අරමුණකින් යුතුව සියලුදෙනා තමන් වෙත පැවරී ඇති වගකීම් ඉටු කිරීමෙන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ලෙස පැවරී ඇති වගකීමත්, ආගමික සංස්ථාවන් ලෙස පැවරී ඇති වගකීමත්, ජනතාව  ලෙස සහ ආරක්ෂක හමුදාවන් ලෙස පැවරී ඇති වගකීමත් නිසි පරිදි ඉටු කිරීමෙන් ඉතා ඉක්මනින් ඉතිහාසයේ අප සතු වූ අභිමානය සහ ගෞරවයේ උරුමය සහිත මාතෘ භූමිය යළි නිර්මාණය කරගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් එක්ව වැඩ කරමු’යිද සියලුදෙනාට ආරාධනා කර සිටියා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ සහ විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අද (21) පෙරවරුවේ එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

අපේ රට ඉතා විශිෂ්ට උරුමයකට සහ ජයග්‍රහණවලට හිමිකම් කිව්වද පසුගිය දශක කිහිපය තුළ රට සියලු ආකාරයේ බිඳ වැටීමවලට ලක්වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා අද සියලුදෙනා වෙත පැවරී ඇති වගකීම වන්නේ මාතෘ භූමිය යළි  ලෝකයේ උසස් වටිනාකම් සහ ඇගයීම්වලට ලක්වන රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීම බවද වැඩිදුරටත් ප්‍රකාශ කළා.