නීති විරෝධී මත්පැන් පැකට් කර දුර ගමන් සේවා බස් රථ සේවකයින් සඳහා අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ ගැබිණි කාන්තාවක් වෙන්නප්පුව පොලීස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ පදිංචිව සිටින අවුරුදු 19ක කාන්තාවක් වන අතර සැකකාරිය ඊයේ (20) දිනයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකාරිය සිය සැමියා සමඟ මත්පැන් පැකට් කරමින් සිට ඇති අතර ඇය සතුව තිබී කසිප්පු බෝතල් 96ක් ද පොලිස් බාරයට ගෙන ඇත.
ගැබිනි කාන්තාවක් දුර ගමන් සේවා බස් රථ සේවකයින්ට මත්පැන් පැකට් අලෙවි කරන බවට පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය සහ ඇය සතුව තිබී පොලිස් බාරයට ගත් කසිප්පු තොගය මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් පොලීසිය සඳහන් කළේය.








