පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨ 06ක අධ්‍යයන කටයුතු 29වනදායින් ඇරඹේ

දෙසැම්බර් 29වනදා වනවිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨ 06ක අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන්ම ආරම්භ කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩබ්ලිව්. එම්. ටී. මධුජිත් මහතා පවසයි.

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ බලපෑම් හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදු වූ අතර එහි පීඨ 03ක කටයුතු දෙසැම්බර් 16වනදා ආරම්භ කර ඇත.

ඒ අනුව වෛද්‍ය පීඨය, සම සෞඛ්‍ය පීඨය හා ඉංජිනේරු පීඨය, විභාග කටයුතු හේතුවෙන් මෙසේ ආරම්භ කළ බව උපකුලපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම කෘෂිකර්ම පීඨය, පශු වෛද්‍ය පීඨය සහ දන්ත වෛද්‍ය පීඨය දෙසැම්බර් 29වනදා ආරම්භ කරන බවත් ශාස්ත්‍ර පීඨය සහ විද්‍යා පීඨය ජනවාරි 5වනදා ආරම්භ කිරීමට නියමිත බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මහාචාර්ය ඩබ්ලිව්. එම්. ටී.මධුජිත් මහතා සඳහන් කළේ මෙම ආපදා හේතුවෙන් විශාලතම බලපෑම සිදු වූ කළමනාකරණ පීඨයේ එක් ගොඩනැගිල්ලකට ශිෂ්‍ය ශිෂ්‍යාවන් යොමු කිරීම අවදානම් සහිත වන අතර ඒ පිළිබඳව අධ්‍යනයක නිරත වන බවය.

2024 උසස් පෙළ විභාගය සමත් වී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට තේරී පත් වූ නවක සිසු සිසුවියන් සඳහා අධ්‍යයන කටයුතු පෙර සැලසුම් කර තිබූ පරිදිම පෙබරවාරි 10වනදා ආරම්භ කරන බවද ඔහු මෙහිදී පැවසුවේය.

එසේම කළමනාකරණ පීඨයේ අනෙකුත් කණ්ඩායම් සඳහා ද අධ්‍යයන කටයුතු ක්‍රමානුකූලව ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද මෙහිදී අදහස් දක්වමින් උපකුලපතිවරයා කියා සිටියේය. 

සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය නිසා විශ්වවිද්‍යාලට සිදු වූ ‍‍ඍජු හානිය රුපියල් බිලියන 4ක් ලෙස ඇස්තමේන්තු ගත කර ඇති අතර අදාළ ඇස්තමේන්තුව උසස් අධ්‍යාපන අමාත්‍යංශය වෙත යොමු කළ බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත් විශ්වවිද්‍යාලය සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය හා මූල්‍යමය ආධාර ලබා දීමට යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් සුදානම්ව සිටී නම් විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩවියට අදාළ අංක යොමු කර ඇති බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව ඕනෑම අයෙකුට මේ සඳහා උපකාර කළ හැකිය.