උදාවන නත්තල වෙනුවෙන් සිදු කරනු ලබන ආගමික උත්සව ඇතුලු සියලුම වැඩසටහන් සඳහා ආරක්ෂාව ලබාදීමට වැඩසටහන් ක්‍රියාත්මක කර ඇතැයි සහකාර පොලිස් අධිකාරි මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ.කේ.වුට්ලර් පවසනවා.
තවද මෙම උත්සවය සමයේදී යම් කිසි සැකකටයුතු දෙයක්, පුද්ගලයෙක් කණ්ඩායමක් සම්බන්ධයෙන් චකිතයක් ඇති වුවහොත් වහාම පොලිසිය දැනුවත් කරන ලෙසද ඔහු මෙහිදී සඳහන් කළා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක මේ බව සඳහන් කර සිටියේ අද උදෑසන පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
ඔහු වැඩිදුරටත් කරුණු දක්වමින් මෙලෙස සඳහන් කළා.
“මේ දෙසැම්බර් මාසයේ අපි උත්සව සමයට ප්‍රවේශ වෙලා තියෙනවා . ශ්‍රී ලංකා පොලිසිය පොලිස්පතිතුමා විසින් විවිධ වූ මඟ පෙන්වීම් සහ ඉදිරි ආරක්ෂාව පිළිබඳ යම්කිසි වැඩසටහන් කිහිපයක් පොලිස්පතිතුමාගේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කර තිබෙනවා.”
“ඒ අනුව සියලුම පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපතිවරුන් හා පොලිස් පරීක්ෂකවරුන් යටතේ ඒ ඒ ප්‍රදේශවලට අදාලව පිහිටා තිබෙන ආගමික ස්ථාන වෙත ආරක්ෂාව සැපයීමට කටයුතු කර තිබෙනවා.
එම ආගමික ස්ථානයේ එම නායකයන් හිමිවරුන් , පියවරුන් ඇතුලු සියලුම ආගමික සිද්ධස්ථානවලින් නායකවරුන් හමුවී එම කාලය තුළ පවත්නා සියලුම ආගමික වැඩසටහන්වලට ආරක්ෂාව සැපයීම සඳහා වැඩසටහන් සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.”
“මෙහිදී අපි බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා මහජන කමිටු ආරක්ෂක අංශයට ඒ වගේම ඒ ආගමික සිද්ධස්ථානවල ක්‍රියා කරන ක්රියාකාරකයන්ට අපට ලබා දෙන දායකත්වය වෙනුවෙන්.
මෙම නත්තල් සමයේ ආගමික කටයුතුවල යෙදෙන සියලුම මහත්ම මහතින්ගෙන් ඉල්ලා සිටිනවා. සෑම වෙලාවකම උත්සව සමය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින අතර යම්කිසි සැක කටයුත්තක් හෝ සැක කටයුතු දෙයක්, සැකකටයුතු කණ්ඩායමක් පිළිබඳ ඔබට යම් චකිතයක් දැනුනොත් වහාම අසල පිහිටි පොලිසියට දැනුම් දෙන්න.
මේ සියලු ක්‍රියාදාමයන් සඳහා ත්‍රිවිධ හමුදාවද අප එක් කරගෙන ඉතාමත් ආරක්ෂාකාරීත්වයක් ඔබට ලබා දීමට කටයුතු කර තිබෙනවා.
මෙම උත්සව සමයේ බුද්ධි නිලධාරීන් සහ සිවිල් පොලිස් නිලධාරීන් රාශියක් යොදවා තිබෙනවා.විශේෂයෙන්ම බස්නාහිර පළාතේ උත්සවය සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන් 2500කට අධික පිරිසක් යොදවා තිබෙනවා.” යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යු.කේ.වුට්ලර් සඳහන් කළා.








