දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලොරි දෙකක් ගැටෙයි : රිය සහායකයකු මියයයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතර කිලෝමීටර 2 ආසන්නයේදී ඊයේ (18) රාත්‍රී ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් රිය සහයකයකු මිය ගොස් රියැදුරකු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව අධිවේගී මාර්ග රථවාහන පොලිසිය පවසනවා.

අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 48ක් වන අලුත්ගම දර්ගා නගරයේ පදිංචිකරුවෙක්.

කඩවත සිට වැලිපැන්න දෙසට ධාවනය වෙමින් තිබූ රබර් ෂීට් පැටවූ ලොරිය කාර්මික දෝෂයකට ලක්වීමෙන් අනතුරුව මාර්ගයේ පසෙක නතර කර තිබියදී එම දිශාවටම ධාවනය වූ එළවළු පටවාගෙන යමින් තිබූ ලොරියක් නවතා තිබූ ලොරිය පිටුපස ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

සිදුවූ අනතුරින් එළවළු ලොරියේ රියැදුරු සහ සහායක බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රිය සහායක මියගිය බව පොලිසිය පවසනවා.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ දී සිදු කිරීමට නියමිතයි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථ දෙකේ රියදුරන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරින් එළවළු ලොරියේ ඉදිරිපසට බරපතළ අලාභ සිදු වී ඇති බවටයි වාර්තා වෙන්නේ.

දක්ෂිණ අධිවේගී රථවාහනය ගැලනිගම පොලිසිය පරීක්ෂණ පවත්වනවා.