උඩදුම්බර මි.මී. 200 ඉක්ම වූ වර්ෂාපතනයක්, නායයෑම් ගැන විමසිලිමත් වන්න

ගත වූ පැය 48 තුළ මහනුවර, උඩදුම්බර ප්‍රදේශයට මි.මී. 200 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබීමත් සමඟ, නායයෑම් කිහිපයක් වාර්තා වී ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ අනුව, දෙනපිටිය ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇති බවත්, එම නායයෑමෙන් නිවාස කිහිපයකට හානි සිදුව ඇති අතර, එම නිවාසවල සිටි ජනතාව කඩිනමින් ඉවත් කිරීමට පියවර ගත් බවයි එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර සඳහන් කළේ.

අද දිනයේදීත් වැසි ලැබීමට නියමිත බැවින්, ඒ පිළිබඳව සැලකිලිමත් වෙමින් ජීවිත ආරක්ෂා කරගැනීමට පියවර ගන්නා ලෙසයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.