TikTok තහනම ඉවතට: චීන මව් සමාගම සිය කොටස් අලෙවි කිරීමට එකඟ වෙයි

වසර ගණනාවක් පුරා අමෙරිකානු රජය සහ TikTok සමාගම අතර පැවති නීතිමය සහ දේශපාලනික ගැටුම නිමා කරමින්, TikTok හි මව් සමාගම වන චීනයේ ByteDance සමාගම සිය අමෙරිකානු ව්‍යාපාරික මෙහෙයුම්වල බහුතර කොටස් අලෙවි කිරීමට තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වන නිල නිවේදනය TikTok ප්‍රධාන විධායක නිලධාරී ෂෝ සූ චව් (Shou Zi Chew) සේවකයින් වෙත නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙම ගනුදෙනුව ජනවාරි 22 වන දින අවසන් වීමට නියමිතයි.

එමෙන්ම මේ අනුව ByteDance සමාගම සියයට19.9, Oracle සමාගම සියයට 15, Silver Lake සමාගම සියයට 15, MGX (අබුඩාබි පදනම් කරගත් ආයෝජන ආයතනය) සියයට 15 සහ අනෙකුත් ආයෝජකයින් සියයට 30.1 (ByteDance හි වත්මන් ආයෝජකයින්ගේ අනුබද්ධිත ආයතන) ලෙස නව හවුල්කාරීත්ව බෙදී යනු ඇති.

අමෙරිකානු පරිශීලකයින්ගේ දත්ත කළමනාකරණය සහ ආරක්ෂාව මෙතැන් සිට Oracle සමාගම විසින් මෙහෙයවනු ලබන පද්ධතියක් හරහා සිදු කෙරෙනවා.

TikTok හි විශේෂිත නිර්දේශිත ඇල්ගොරිතමය (Algorithm) අඛණ්ඩව භාවිත කිරීම සඳහා Oracle සමාගම බලපත්‍ර ලබා ගනු ඇති.

අමෙරිකානු ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් 2024 අප්‍රේල් මාසයේදී ජෝ බයිඩන් පාලන සමයේදී TikTok තහනම් කිරීමේ පනතක් සම්මත වූවා.

කෙසේ වෙතත්, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එම තහනම ක්‍රියාත්මක කිරීම කිහිප වරක් ප්‍රමාද කළ අතර, චීන ජනාධිපති ෂී ජින්පිං සමග පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම විකිණීමේ ගිවිසුමට දෙරටේම එකඟතාව හිමිව තිබෙනවා.

මෙම ගනුදෙනුව හරහා අමෙරිකානු පරිශීලකයින් මිලියන 170කට වඩා වැඩි පිරිසකට කිසිදු බාධාවකින් තොරව TikTok භාවිත කිරීමේ අවස්ථාව හිමිවන බවට සඳහන්.